මැදපෙරදිග යුද ගින්නෙන් ලෝක බොරතෙල් වෙළෙඳපොළ ඇළලෙයි
මැදපෙරදිග යළිත් උද්ගත වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 9කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 7.29කින් හෙවත් සියයට 9.59කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 83.30ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, WTI බොරතෙල් මිල ද ඇමෙරිකානු ඩොලර් 6.73කින් හෙවත් සියයට 9.42කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.14ක් දක්වා වාර්තා වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රෙන්ට් බොරතෙල් මිලෙහි මෙම ඉහළ යාම අප්‍රේල් 2 වැනිදායින් පසු වාර්තා වූ විශාලතම එක්දින වර්ධනය මෙන්ම ජූනි 12 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම මිල බවයි.
මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අමෙරිකාවට මැදිහත් වීමට ඉඩ නොදෙන බව ඉරානය ප්‍රකාශ කර ඇති අතර, අවසරයකින් තොරව එම මුහුදු මාර්ගය භාවිත කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට ප්‍රතිචාර දක්වන බවද සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ගාස්තු අය කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ නාවික නියෝජිතායතනය විරෝධය පළ කර ඇති අතර, එවැනි අනිවාර්ය ගාස්තු හඳුන්වාදීම සඳහා නීතිමය පදනමක් නොමැති බව අවධාරණය කර තිබේ.
පෙබරවාරි මාසයේ ගැටුම් උත්සන්න වීමට පෙර, ලෝකයේ දෛනික බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණු අතර, ජූනි මාසයේ සටන් විරාමයෙන් පසුව යථා තත්ත්වයට පත්වෙමින් තිබූ නාවික ගමනාගමනය යළිත් මන්දගාමී වී ඇති බව ද වාර්තා වේ.