අගමැති මහින්ද කියූ වෙනස්ම කතාව.

Politics mahinda rajapaksha seilanka
By Sithumi Mar 19, 2022 03:07 PM GMT
Report

කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොලොන්න නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමරුඵලකය නිරාවරණය කරමින් චෛත්‍යයට ප්‍රථම මල් පූජාව පැවැත්වීය. 

 අපවත්වී වදාල පූජ්‍ය රක්වානේ ඥාණීස්සර හිමියන් විසින් ගොඩනැගූ, වසර 73ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය කුඹුරුගමුවේ රතනසාර හිමියෝ විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් කරනු ලබන ආගමික, ශාසනික හා සමාජීය සේවය අගයා සමස්ත ලංකා “දහම් සිසිල” පදනම මඟින් ප්‍රදානය කළ “සද්ධර්ම කිර්ති ශ්‍රී ශාසන ශෝභන මධුරභාණී”ගෞරව නාම සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යතුමා විසින් මෙහි දී උන්වහන්සේට පිළිගන්වනු ලැබීය. 

 කොලොන්න-සූරියකන්ද මාර්ගයේ සංවර්ධන කටයුතු අතර මග ඇණහිට ඇති බැවින් මාර්ගයේ වැඩකටයුතු අවසන්කර දෙන ලෙස උත්සවයට සහභාගිවී සිටි භික්ෂූන් වහන්සේලා සහ ගම්වැසියෝ අග්‍රාමාත්‍යතුමාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ. ඊට ඒ මොහොතේදීම ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යතුමා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධකර ගනිමින් මාර්ගය කඩිනමින් නිමකරන ලෙසට උපදෙස් දුන්නේය.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ, කොලොන්න කලූගල ශ‍්‍රී හේමගිරි පිරිවෙනේ පරිවේනාධිපති අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහා නිකායේ සබරගමු පළාතේ ද්විතීය සංඝනායක පූජ්‍ය විජේරියේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති මඩුවන්වෙල ශ්‍රී සුගතානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටියහ. මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොලොන්න ප්‍රාදේශිය සභාවට ගොස් ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලුවේය

. කොලොන්න ප්‍රාදේශිය සභාවේ සභාපති ටී. රූපසේන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සමග ගැටලු සාකච්ඡා කළ අග්‍රාමාත්‍යතුමා, ප්‍රාදේශීය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ පැවති දර්ශ කුමාර ලියනගේ සහ දසුන් කුමාර ලියනගේ නිවුන් සොයුරන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය ද නැරඹුවේය. නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය. අද මෙම ස්ථානයට පැමිණ මෙම උත්සවයට සම්බන්ධවීමට ලැබීම ගැන මම ඉතාමත් සංතෝෂ වෙනවා. තමුන්නාන්සේලා දන්නවා අද රට ඉතාම අසීරු මට්ටමක තියෙන වෙලාවක්. එක පැත්තකින් කොරෝනා වසංගතයට මුහුණ පාන්න සිද්ධවෙලා තියෙනවා. ඊට අපි ඉතා සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම වෙනත් ආර්ථික බලපෑම් ඇතිවෙලා තියෙන යුගයක තමයි අපි ජීවත්වන්නෙ. එහෙත් රජයක් වශයෙන් අපි ජනතාවට දිය යුතු මෙන්ම කළ හැකි සියලු සහන සැලසීමටත් රජයේ වගකීමක් වශයෙන් ගෙන එම කටයුතු ඉටු කිරීමටත් සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම ගමක ප්‍රදේශයක් දියුණු වෙන්න නම් මහා මාර්ග, විදුලිය,ජල පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. අපි විශේෂයෙන්ම ඒ කාරණා කෙරෙහි අවධානය යොමු කරනවා. ගම්බදව විදුලිය දීම, මංමාවත් සාදා දීම ආදිය අද අපි ඉටු කරමින් තිබෙනවා. එක පාරටම මුළු රටක් සංවර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙත් ක්‍රමානුකූලව එකින් එක අරගෙන රට සංවර්ධනය කිරීම තමයි අපේ පරමාර්ථය. ඒ අනුව තමයි අපි අද හැම ප්‍රදේශයක් තුළම වැඩකරමින් රටම වැඩබිමක් බවට පත්කර තිබෙන්නෙ. පසුගිය ආණ්ඩුව කාලේ අවුරුදු පහක් විතර සම්පූර්ණයෙන්ම රටේ සංවර්ධන වැඩ නැවතිලා තිබුණා. ඊට පසුව නැවත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ මේ වැඩ ක්‍රමානුකූලව ආරම්භවෙලා තියෙනවා.

ඉතිං අපිට ටික කලක් මේක කරලා මේ රටේ සංවර්ධනය ඇති කරන්න අවශ්‍යයයි. එතැනදි අපි ඒ සංවර්ධනය විතරක් නෙමෙයි ආගමික වශයෙනුත් අපි ඒ සංවර්ධනය කළ යුතුයැයි මම විශ්වාස කරනවා. අපි බෞද්ධයන් වශයෙන් ජනතාව පන්සලට යොමු කරවීම කළ යුතුයි. අද විශේෂයෙන් කුඩා කාලයේ පටන් දරුවන්, ඒ වගේම තරුණ පරපුරත් පන්සලට යොමු කිරීම අපේ වගකීමක්. ඒ නිසා ඉරිදා දහම් පාසල වෙත දරුවන් යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. ආගමික පසුබිමක් තුළ හැදෙන සමාජයක් තමයි අපි ගොඩනැගිය යුත්තේ. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන්නට බුද්ධශාසන අමාත්‍යාංශය වශයෙන් අපි ලෑස්තියි කියන එක අපි මතක් කරන්න ඕන. ඒ වගේම අපි තමුන්නාන්සේලාගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තියෙන නිසා රටේ ජනතාවගේ අවශ්‍යතා හඳුනගත්ත පිරිසක් තමයි අද රට පාලනය කරන්නෙ. ඒ නිසා ක්‍රමානුකූලව තමයි ඒ කටයුතුවලට අපට යෙදෙන්න සිද්ධවෙලා තියෙන්නෙ. එක පාරට, එක පැයකින්, එක දවසකින්, එක මාසයකින්, එක අවුරුද්දකින් මේ සියලු දේ කරන්න පුළුවන් කමක් නැහැ

. නමුත් එකින් එක ඉටු කිරීමට අපි පියවර ගනිමින් තියෙනවා. ඒ සඳහා ඔබේ සහයත් අපට අවශ්‍ය වෙනවා. මේ අලංකාර චෛත්‍යරාජයාණන්වහන්සේ ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනයාමත් දියුණු කිරීමත් මේ ගම්මානයේ සියලු දෙනාගේම වගකීමක් බවත් මතක් කරනවා. ඔබ සැමට සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය. රොහාන් වැලිවිට, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now