ලක්ෂ ගාණනක් වතුර බොන ප්‍රධාන ජලාශයකට වස විෂ මිශ්‍ර වෙයි..දැඩි අවධානම් තත්ත්වයක්..

Hambantota Sri Lanka Water
By Aruna Nov 04, 2022 05:00 AM GMT
Report

ලක්ෂ 6කට අධික පිරිසකට පානීය ජලය සපයන ලුණුගම්වෙහෙර ජලාශයට යාබදව ඉදිකළ මහා පරිමාණයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයකින් ෆෝමලින් ඇතුළු විෂ රසායනික රැසක් ජලාශයට මුදාහරින බවට හෙළි වී තිබෙනවා.

විසිතුරු මසුන් ඇතිකරන මෙම මහා පරිමාණ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය සතු විශාල ප්‍රමාණයේ ටැංකි 481කින් බැහැර කෙරෙන අපජලය ස්ථාන තුනකින් ජලාශයට බැහැර කෙරෙන ආකාරය එහි කළ නිරීක්ෂණයකදී අනාවරණය විය.

මේ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂක හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් එහි ගොස් කළ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ පරිසර ආරක්ෂණ නියමයන් උල්ලංඝණය කරමින් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයෙන් ලුණුගම්වෙහෙර ජලාශයට අපදියර බැහැර කෙරෙන බවයි.

මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙම මධ්‍යස්ථානය වෙනුවෙන් පාරිසරික බලපත්‍රයක් ලබාගෙන නැති බව ද එහිදී අනාවරණය වී ඇත.

මේ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ සමන්ත සංජීව නන්දසේන මහතා එම ආයතනයට නියෝග කළේ, දින තිහක් ඇතුළත නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එහි කටයුතුවලින් බැහැර කෙරෙන අපජලය පිරිපහදු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචිය පිළිගත් තාක්ෂණික උපදෙස් සහිත ප්‍රතිකර්ම පද්ධතියක් ස්ථාපනය කරන ලෙසත් එය ඉදිකිරීමෙන් අනතුරුව අධිකාරියේ ලියාපදිංචි රසායනාගාරයකින් ජල විශ්ලේෂණ වාර්තාවක් ලබා ගෙන ඉදිරිපත් කරන ලෙසත් ඔහු දන්වා සිටියේ ය.

එමෙන් ම වහා ම පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගන්නැයි ද හෙතෙම එම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන හිමිකරුට නියෝග කළේ ය.

මේ අතර, ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කණ්ඩායම් විසින් එහි කළ නිරීක්ෂණයෙන් පසු නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්ව ඇත්තේ ෆෝමලින්, මෙතලින් බ්ලූ ඇතුළු රසායනික අවට බිම්වලට බැහැර කරන බව නිරීක්ෂණය වූ බව ය.

2007 වසරේ ලුණුගම්වෙහෙර ජලාශයට යාබදව මහජන විරෝධතා මැද ඉදි වූ මෙම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මගින් බැහැර කෙරෙන අපජලය ලුණුගම්වෙහෙර ජලාශයට මුදාහැරීම කාලයක් තිස්සේ සිදුවී ඇති බව එහි කළ අධ්‍යයනවලින් හෙළි වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now