දශකයකදී මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට අධික ප්‍රමාණයකින් පහළට

Child Rehabilitation Center Sri Lanka Latest Headlines Saroja Savithri Paulraj Puwath.lk
By R.rishma Jul 13, 2026 02:02 PM GMT
Report

පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව එක්ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (13) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, නව දරු උපත් දිරිගැන්වීම සඳහා රජය අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කරන බවයි.

2015 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩ පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ.

විශේෂයෙන් 2019 වසරෙන් පසු මෙම පහළ යාම වඩාත් පැහැදිලිව දක්නට ලැබෙන අතර, 2019 සිට 2025 දක්වා කාලය තුළ සජීවී දරු උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් සියයට 33කින් අඩුවී ඇත.

2019 වසරේ මෙරටින් වාර්තා වූ සජීවී දරු උපත් සංඛ්‍යාව 319,010ක් වූ අතර, එය 2020 වසරේදී 301,706ක්, 2021දී 284,848ක්, 2022දී 275,321ක්, 2023දී 247,900ක්, 2024දී 220,761ක් සහ 2025දී 214,570ක් දක්වා ක්‍රමයෙන් පහළ ගොස් තිබේ.

මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන හේතු ලෙස විවාහ වන වයස ඉහළ යාම, විවාහ අනුපාතය පහළ යාම, ජීවන වියදම් ඉහළ යාම, ප්‍රජනන වයසේ පසුවන තරුණ තරුණියන් විදේශගත වීම සහ විදේශ රැකියා හේතුවෙන් කලත්‍රයන් අතර දුරස්ථභාවය ඇතිවීම හඳුනාගෙන තිබේ.

එමෙන්ම කුඩා පවුල් සංකල්පයට වැඩි කැමැත්තක් දැක්වීම, කාන්තාවන්ගේ උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා සහභාගීත්වය ඉහළ යාම, පවුල් සැලසුම් ක්‍රම භාවිතය වැඩිවීම මෙන්ම මඳසරුභාවය සහ වඳභාවය වැනි කරුණු ද දරු උපත් අඩුවීමට බලපා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජනගහන ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වසරකට අවශ්‍ය ප්‍රශස්ත දරු උපත් සංඛ්‍යාව 330,000ත් 360,000ත් අතර පවතින බව වාර්තා වේ.

එහෙත් 2025 වසරේ වාර්තා වූ දරු උපත් සංඛ්‍යාව 214,570ක් වන අතර, එය එම ප්‍රශස්ත මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් බව සඳහන් වේ.