මී උණ මාරාන්තිකද?

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Jun 22, 2022 04:09 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස් වල වගා බිම් අස්වද්දන ගොවීන්ට මේ කියන්න යන දේ විශේෂයි. ඒ වගේම බේරේ වැවේ වගේ තැන් වල නාන කරන අයටත් විශේෂයි... ඉතින් මේ කියන්න යන්නේ මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් ‘leptospirosis' රෝගය ගැනයි.

♦ මී උණ කිවුවට මෙම රෝගය මීයන්,ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයක්. මෙම රෝගයම ‘ වෙල් උණ , පතල් උණ‘ යනුවෙන්ද හඳුන්වනවා.

♦ මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වෙනවා. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග ,කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකි අතර මෙම බැක්ටීරියාව ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශ්ලේෂ්මල පටල ( ඇස්, මුඛය, ලිංගාශ්‍රිත ප්‍රදේශ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු වෙනවා. මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.

♦ එමනේම මෙම ආසාදන තත්වය අක්මාව / වකුගඩු වැනි අභ්‍යන්තර අවයව වලට හානි සිදුකල හැකි අතර මෙනින්ජයිටීස් තත්වයන් වලට ද හේතු විය හැකියි.

♦ පුළුවන් තරම් මෙම මී උණ වලක්වා ගන්න උත්සහ කරන්න. මොකද විශේෂයෙන්ම ලංකවේ රෝහල් වල ඖෂධ හිඟ මේ කාලයේ මෙවන් සෞඛ්‍ය ගැටලු හැකිතාක් වළක්වා ගැනීමේ වැදගත්.

රෝග ලක්ෂණ

♦ සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී පහත සඳහන් රෝග ලක්ෂණ මතුවිය හැකියි.

🐁 උණ

🐁 මස් පිඩු වේදනාව

🐁 ඇස් රතු වීම

🐁 හිසරදය

🐁 මුත්‍රා කහ පැහැ වීම

🐁 මුත්‍රා යාම අඩු වීම

🐁 වමනය

🐁♦ සිරුරේ අප්‍රාණිකත්වය  



මී උණ මාරාන්තිකද?

♦ නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය කරයි.

මී උණෙන් ආරක්ෂා වීමට නම්..

🐀🐃🐂 කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කාණු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්ට මෙන්ම ගං වතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැලකීම පිළිබඳව දැනුවත් වී සිටිය යුතුයි.

🐀🐃🐂 මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

🐀🐃🐂 තුවාල ,සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න. නැත්නම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.

🐀🐃🐂 කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න.

🐀🐃🐂 මී උණ වළකන ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.

🐀🐃🐂 ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදී ද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.

🐀🐃🐂 විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් / ඇඟ සේදීමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW