නාවලපිටිය තේ වත්තක ළිඳකින් මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් හමුවෙයි
නාවලපිටිය වෙරලුගස්හින්න ප්රදේශයේ තේ වත්තක ළිඳකට වැටී මියගොස් සිටි වැඩුණු කඳුකර කොටියෙකුගේ සිරුරක් ගම්පොළ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (27) සොයාගෙන තිබේ.
කඳුකර කොටියා ගොදුරක් පසුපස හඹා යාමේදී ළිඳට වැටී මියගියේද, නැතහොත් මන්දකට හසුවීමෙන් පසු කිසියම් පිරිසක් විසින් සිරුර ළිඳට දමනු ලැබුවේද යන්න පිළිබඳ සැකයක් පවතින බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.
දිට්වා සුළි කුණාටුව පැවැති සමයේ පස් සෝදාගෙන විත් පිරී තිබූ මෙම ළිඳට වැටුණු කොටියාට ගොඩට ඒමට අවස්ථාව තිබියදී මියගොස් සිටීම සැක සහිත බව ප්රදේශවාසීහු ද පවසති.
කාලයක සිට භාවිත නොකළ මෙම ළිඳ අසල පිහිටි කෝපි වත්තේ සේවයට ගිය කම්කරුවෙකු කොටියාගේ සිරුර දැක ඒ පිළිබඳ නාවලපිටිය පොලිසියට දැනුම් දී තිබේ. අනතුරුව පොලිසිය විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත.
මියගිය කොටියාගේ සිරුර නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර නියෝග ලබාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්ය කාර්යාලය වෙත රැගෙන යාමට නියමිත බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.