ලොකු ළුෑණු මිල අඩු කිරීමක් ගැන දැනුම්දීමක්..අඩු වන මිල ගණන් මෙන්න.

Pakistan India Economy of Sri Lanka Businessman China Ship In Sri Lanka
By Aruna Mar 26, 2024 03:29 AM GMT
Report

ඉන්දියාව සහ පකිස්ථානය ලොකු ළුෑණු අපනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් චීනයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට පියවර ගත් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ, චීනයේ ඩිම්බෝ වරාය හරහා ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 5,000ක් ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.

චීනයේ වෙනත් වරාය හරහා ද ලොකු ළුෑණු ආනයනය කිරීමට හැකි වුවද ඒවායේ සිට නෞකාවක් දිවයිනට පැමිණීමට මාසයකට ආසන්න කාලයක් ගතවන බවයි පැවසෙන්නේ.

එහෙත් ඩිම්බෝ වරායේ සිට දින 10ක් තුළ නෞකාවක් දිවයිනට පැමිණෙන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ලොකු ළුෑණු රැගත් නෞකා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසුවේ, අවුරුදු සමයේ හිඟයකින් තොරව ලොකු ළුෑණු වෙළඳපොළට නිකුත් කිරීමට හැකි බවයි.

චීනයෙන් ලොකු ළුෑණු ආනයනය කළද රුපියල් 400ක පමණ තොග මිලක් යටතේ අලෙවි කිරීමට සිදුවන බවයි ඔහු ප්‍රකාශ කළේ. මෙරටට ලොකු ළුෑණු වැඩි වශයෙන් ආනයනය කළේ ඉන්දියාවෙන්.

එහෙත් එරට මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමට ඉන්දිය රජය මීට පෙර පියවර ගනු ලැබීය.

විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේ, එවන් පසුබිමක් තුළ යළිත් එම තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, මියන්මාරය, භූතානය ඇතුළු රටවල් රැසක් පකිස්ථානයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට පියවර ගනු ලැබුවා.

පවතින ඉල්ලුම හමුවේ ලොකු ළුෑණු අපනයනයේදී පැවති මිල ගණන්ද ඉහළ දැමීමටයි පකිස්ථානය කටයුතු කළේ.

එවන් පසුබිමක් තුළ රාමසාන් උත්සව සමය අවසන් වන තෙක් ලොකු ළුෑණු අපනයනය කිරීම නවතා දැමීමට පකිස්ථානය කටයුතු කරනු ලැබීය.

පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 450ක් ලෙසයි පසුගිය සමයේ මෙරට වෙළඳ පොළෙහි සටහන්ව තිබුණේ.

එම ලොකු ළුෑණු කිලෝවක් සිල්ලර වෙළඳපොළේ රුපියල් 550ත් 660ත් අතර මිල ගණන් යටතේ අලෙවි වූ අතර ඇතමුන් රුපියල් 700 ට අලෙවි කරනු ලැබීය.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විශ්වාසය පල කරන්නේ, රාමසාන් උත්සව සමය අවසන් වීමෙන් අනතුරුව පකිස්ථානයෙන් යළිත් ලොකු ළුෑණු ආනයනය කිරීමට හැකිවනු ඇති බවයි .