කාන්තාවකට අමානුෂික ප්‍රහාරයක්

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 11, 2023 01:27 PM GMT
Report

ඊයේ (11) රාත්‍රීයේ මාළිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් කඩුවලින් කපා කොටා ඝාතනය කිරීමට තැත් කර ඇති බව පොලීසිය පවසයි.

අදාළ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබුවේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 38 හැවිරිදි ''රෝසි'' නම් කාන්තාවකි. ඇය නිවාස සංකීර්ණයේ සෝපානය අසල රැඳී සිටියදී එහි පැමිණි දෙදෙනෙක් ඇයව ඒ අසල ඇති නිවසක් වෙත ඇඳගෙන ගොස් කඩුවලින් කපා කොටා තිබේ.

සිය දියණියට පහරදෙන අයුරු රෝසිගේ මව එම අවස්ථාවේ දැක තිබූ අතර ඇය සිදුවීම පිළිබඳ මෙලෙස අදහස් පළ කළාය.

"කෙල්ල කිව්වා ඔහොම ඉන්න අම්මේ මම බල්ලාට කන්න දුන්න ද කියලා අනිත් ළමයි දෙන්නත් බලලා එන්නම් කියලා. මේ පැත්ත හැරෙනකොටම කෙල්ලට කරකියා ගන්න දෙයක් නෑ. කපාගෙන කපාගෙන ගියා. කෙල්ල මුණින් අතට වැටුණා. වැටුණ කෙල්ලටත් මන්නා පාරවල් ගැහුවා."

පසුව දෙමටගොඩ පොලීසිය විසින් එම ස්ථානයෙන් පළාගිය 31 හා 33 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබීය.එහිදී ඔවුන් සතුව තිබී කඩු දෙකක්, විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගැනුණි.

මීට අමතරව මෙම සැකකරුවන් දෙදෙනාට සහාය දුන් බව කියන 52 හැවිරිදි කාන්තාවක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

දෙමටගොඩ පොලිසිය පවසන්නේ දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා සහ ප්‍රහාරයට ලක්වූ කාන්තාව අතර මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.