ගෙදරට වසන් වී ඔරු පදින්න ගොස් මරු තුරුලේ සැඟවුණු දරු දෙදෙනාගේ අනුවේදනීය කතා පුවත..
කොරතොට තුන්අඳහේන ප්‍රදේශයේ ජලයෙන් පිරී තිබූ ගල් වලක ස්නානය කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වෙනවා. නදුන් ඉඳුවර සහ සඳුල් නිම්සර කුඩා කලසිටම එකට හැදීවැඩී එකම පාසලට ගොස් අධ්‍යාපනය ලබමින් සිටි ගජ මිතුරන් දෙදෙනෙකි. කොරතොට තුන්අඳහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දරුවන් දෙදෙනා අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ නවය සහ දහය වසරවල අධ්‍යාපනය ලබමින් සිටියෝය.
මෙම මිතුරන් දෙදෙනා පෙරේදා (17 වැනිදා) පාසල් නිම වී නිවෙස්වලට පැමිණියේ සවස උපකාරක පන්තිවලට සහභාගි වීමට සැලසුම් කරගනිමිනි. ඔවුන්ගේ නිවෙස් දෙක අතර දුර ප්‍රමාණය මීටර් සීයයක් පමණි. දෙදෙනා උපකාරක පන්තියට සහභාගි වීම පසෙක තබා ඔවුන් කතාබස් කර ගෙන තිබුණේ යාබද පිහිටා තිබෙන වතුර පිරී ඇති ගල්වලෙහි ඔරු පැදීමටය.
හෙත් එයට සිය නිවෙස්වලින් අවසර නොලැබෙන නිසා දෙදෙනා හොර රහසේම ගල්වල කරා පිටත්ව ගොස් තිබුණේ එම ස්ථානය ඔවුනට නුහුරු නුපුරුදු තැනක් නොවුණ නිසාවෙනි. ඒ මොර සූරන වර්ෂාවත් සමගය. ඔවුන් ඔරු පැදීමට යොදාගෙන ඇත්තේ යකඩ බැරල් දෙකකි. ගල්වලේ සේවකයින් විසින් එහි පිරී තිබෙන ජලය ඉවත් කිරීම සඳහා වතුර මෝටරය සවිකිරීමට මෙම බැරල් දෙක එකට තබා පෑස්සීමෙන් තට්ටුවක් ලෙස සකසා තිබුණි.
මේ දිනවල පවතින අධික වර්ෂාව හමුවේ එම ගල්වලේ වැඩකටයුතු නවත්වා තිබී ඇත. එම නිසා එම ස්ථානයේ කිසිදු පුද්ගලයකු නොසිටි හෙයින් නදුන් සහ සඳුල් හට එම බැරල් දෙක උපයෝගී කරගෙන ජලයේ සෙල්ලම කිරීමට බාධාවක් නොවුණි. ගල්වලෙහි වතුර පිරී තිබෙන ස්ථානයට මීටර් විස්සක් පමණ දුරින් එම බැරල් දෙක ගලකට හේත්තු කර තබා තිබුණේ එම ගල්වලේ සේවකයෝ විසින්ය.
එම බැරල් දෙක සහිත තට්ටුව කිලෝ ග්‍රෑම් හැත්තෑවකට අධික බරකින් යුක්ත විය. දෙදෙනා එක්ව මහත් පරිශ්‍රමයක් දරා එය වතුරට දැමීමට පියවර ගෙන තිබුණි. ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වුවද එය තමන්ගේ අවසන් විනාඩි කිහිපය බව ඔවුන් හීනෙකින්වත් සිතන්නට නැත. වතුර මතට බැරලය දැමූ දෙදෙනා විනාඩි කිහිපයක් ගැඹුරු ජලය මත රවුමක් දෙකක් යාමට උත්සාහ දරා තිබේ. ඒ සමගම බැරල් දෙක යාකර පෑස්සුම් තබා තිබූ යකඩ සැනෙකින් කැඩී ගොස් ඔවුන් දෙදෙනා ජලයට වැටී තිබුණි.
තත්ත්පර කිහිපයක් ජල රකුසා සමග පොර බැදූ ඔවුන් අවසන ගල්වල පතුලේ සැඟව ගියේ යළි නොඑනා ගමනකි. ඔවුන් දෙදෙනාගේ මවුවරුන් මේ කිසිවක් නොදැන දරුවන් කොහේදැයි සොයන්නේ මේ අතරවාරයේදීය. නදුන් ඉඳුවරගේ මව වන සමන්ති රයිගම සිතා සිටියේ සිය පුතා සඳුල්ගේ නිවසේ කියාය. එහෙත් එම නිවෙසට ගොස් බැලූවද දරුවන් දෙදෙනා එහි නොවීය. වර්ෂාව මධ්‍යයේ සඳුල් නිම්සරගේ මව වන සුජාතා සරෝජනී ඇතුළු පිරිසද දරුවන් සෙවීමට කටයුතු ආරම්භ කළේය.
මාර්ගය දෙපස මෙන්ම හිතවතුන්ගේ නිවෙස්වල පරික්ෂා කළද ඔවුන් එහි නොවීය. දරුවන් දෙදනො නිතර මෙම ගල්වල පැත්තට යන නිසා එම පිරිස එම ස්ථානයට ගියේ ඔවුන් පිළිබඳ යම් හෝඩුවාවක් දැන ගන්නා අටියෙනි. ඔවුන්ගේ සැකය තහවුරු වන්නට වැඩි වේලාවක් ගියේ නැත. දෙදෙනාගේ ඇඳුම් සහ පාවහන් කළුගලක් මත තිබුණි. බැරල් දෙක ජලයෙහි පාවෙමින් තිබුණි. ඔවුන් සමග ගිය පිරිස ජලයට පැන දරුවන් සෙවීම ආරම්භ කළහ. ගමේ තරුණයකු හට විනාඩි කිහිපයකදී ගල්වල පතුලේ සිටි දරුවන් දෙදෙනා සොයා ගැනීමට හැකි විය.
ඒ වන විටත් දරුවන් දෙදෙනා ජලයේ ගිලී පැය තුනකටත් අධික කාලයක් ගතවී තිබුණි. අතුරුගිරිය රෝහල වෙත ගෙන යනවිටත් ඔවුන් දෙදෙනා මෙලොව හැර ගොස් තිබුණි. සඳුල් නිම්සරගේ පියාද වසර 10කට පමණ පෙර හෘදයාබාධයක් නිසා දිවිගමනින් සමුගෙන ඇත. ඔහුගේ මහප්පා වන ලාන්ස් කෝප්‍රල් කේ.ඩී. කරුණාරත්න 1983 කළු ජූලිය ආරම්භ වීමට හේතුපාදක වූ ඝාතනයට ලක් වූ යුද හමුදා සෙබළුන් 13 දෙනාගෙන් කෙනෙකි.
සුජාතා සරෝජනීගේ බාල පුතා වූ සඳුල් නිම්සරට වැඩිමහලු සොයුරියක්ද සිටී.එහෙත් මේ වන විට ඔවුන් දෙදෙනා තනිකර පියා මෙන්ම එකම සහෝදරයාද මෙලොව හැර ගොසිනි. සඳුල් නිම්සරගේ මව අම්ම කෙනෙක් මේ දුක කොහොම දරන්නද?අක්කටයි,මටයි හිටියෙ ඔයා විතරයි.මගෙ රත්තරං ඇයි අපිට මෙහෙම දුකක් දුන්නේ සඳුල් නිම්සරගේ මවගේ දුක්බර හඬ වාතලයට මුසුවන්නේ එලෙසිනි. දහහතර හැවිරිදි නඳුන් ඉඳුවරගේ මව වන සමන්ති රයිගම පුද්ගලික අංශයක රැකියාව කරමින් සිය එකම පුතා පෝෂණය කළේ සැමියා ඇගෙන් වෙන්ව ජීවත්වන නිසාවෙනි. ඇයගේ එකම බලාපොරොත්තුව වූයේ ඉගෙනීමට දක්ෂයකු වූ තම පුතා සමාජයේ උසස් තැනකට ගෙන යාමටයි
. එහෙත් අද ඇය මෙලොව තනිවී ඇත. නඳුන් ඉඳුවරගේ මව ‘‘අනේ මගේ පුතේ ඔයා විතරයි මට හිටියේ ඇයි මාව දාලා ගියේ.යන තැනක මාවත් අරගෙන යන්න. මම මොන දුක වින්දත් අමාරුවෙන් දුකක් නොදී ඔයාව සැපට හැදුවා. මගේ පුතා ලබන ආත්මෙවත් මේ වගේ අකල් මරණයකට ගොදුරු වෙන්න එපා.නඳුන්ගේ මව එසේ විලාප නගන්නේ අවට සිටියවුන්ගේද දෑස් කඳුලින් තෙත් කරමිනි. එම ගල්වලේ සේවකයකු පැවසුවේ
‘‘මේ දරුවෝ මීට ඉස්සරත් මෙතැනට ඇවිල්ලා තියෙනවා. එයාලාගේ බල්ලෙක් නාවන්න එහෙම. අපි දැන් සති දෙකතුනක ඉඳන් වැඩ නැහැ. වෙඩි බෙහෙත් නැති නිසා. ගල්වල ළඟ කවුරුත් ඔය වෙලාව ඉඳලා නැහැ. ඒකත් එයාලගේ කරුම වෙලාව. අපිට හිතාගන්න බැහැ මේ දෙන්නා අපි අයිනට කරලා තිබුණු බැරල් දෙක කොහොම වතුරට දාගත්තද කියලා. පවු මොනව වුණත් අහිංසක දරුවෝ. අනෙක් ළමයිනුත් දැන ගන්න ඕනෑ ගෙවල්වලට හොරෙන් ගමන් නොයා ඉන්න. බලන්න දැන් කීදෙනෙක් විඳවනද කියලා.’’
ඔවුන්ගේ පාසලේ මිතුරන් පැවසුවේ මෙවැන්නකි. දෙන්නා පන්ති දෙකක හිටියත් සහෝදරයෝ වගේ හිටියේ. හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. එදා ඉස්කෝලෙ ගිහිල්ලා ඇවිල්ලා දෙන්නා හිටියා. ටියුෂන් සර් පාරේ යමින් ගමන් පන්ති එන්න කියලාත් ගියා. ඒත් මේ දෙන්නා කොහොම හරි ඔරු පදින්න පැනලා ගිහින් තියෙනවා. ඇත්තටම අපිට ගොඩක් දුකයි.
උපුටා ගැනීමකි හේමන්ත ලියනපතිරණ J අයිරාංගනී එදිරිසිංහ (අරුණ පුවත්පතින්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |