කාවන්තිස්ස ඇතාගේ සිද්ධියේ තීරණාත්මක සාක්ෂියක්? ගිනි අවි දෙක පරීක්ෂාවට

Elephant Death Latest Headlines Sinhala news Kawanthissa
By R.rishma Oct 23, 2026 03:30 AM GMT
Report

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැක කෙරෙන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ අධිකරණයට ඉදිරිපත් කළ ගිනි අවි දෙක රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර, ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මහත්මිය නියෝග කර තිබේ.

ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියකු සහ තවත් සැකකරුවකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මහත්මිය විසින් ඉකුත් 20 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් චතුරිකා හතුරුසිංහ මහත්මිය ඉකුත් 18 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඔලුගල මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතාගේ උපදෙස් මත ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිලධාරීහු පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදය රාජපක්ෂ මහතා පෙනී සිටි අතර, ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතාගේ උපදෙස් මත නීතිඥ සඳගිරි බණ්ඩාර මහතා අධිකරණයේ පෙනී සිටියේය.