කන්දකාඩු විමර්ශනයට මානව හිමිකම් කොමිසම - මියගිය තරුණයාගේ සිරුර ඥාතීන් ප්‍රතික්ෂේප කරයි

Sri Lanka Army Human Rights Commission Of Sri Lanka Sri Lanka
By Sewvandhi Jul 01, 2022 02:32 AM GMT
Report

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායමක් එම මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙනවා.

ඒ අනුව, එහි ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සහ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව යි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටිය දී යළි රැඳවුම් භාරයට ගත් රැඳවියන් පොළොන්නරුව, අනුරාධපුර, දුම්බර සහ මඩකලපුව බන්ධනාගාරවල රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළා.

කඳවුරෙන් පළා ගිය 653 දෙනෙකු යලි රැඳවුම් භාරයට ගැනුණු අතර, හැත්තෑ දෙදෙනෙකු සොයා තවදුරටත් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විමර්ශන සිදු කරනවා. එසේම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මියගිය බව කියන තරුණයාගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයට අදාළව වැලිකන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළ ව රැඳවියා සමඟ කුටියේ සිටි සෙසු රැඳවියන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගොස් ඇත්තේ, හාලිඇල උඩුවර ප්‍රදේශයේ තරුණයා නො වන බවට ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කිරීමත් සමඟ දේහයේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now