හෝටලයේදී මියගිය පාසල් සිසුවිය ගැන ටියුෂන් ගුරුවරයෙක් ගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි...

Sri Lanka Police Sri Lanka
By Aruna May 11, 2023 05:47 AM GMT
Report

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටී මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් පුද්ගලයන් ගැන මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ මරණය සිදුවූ දිනයේ ඇය එම ලැගුම් හලේ සිටි කාලය තුළ ඇය විසින් දුරකථන ඇමතුමක් ලබා ගත් උපකාරක පන්ති ගුරුවරයෙකු ගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම ප්‍රශ්න කිරීමේ දී ගුරුවරයා සඳහන් කර ඇත්තේ තමන් මෙම සිසුවිය හොඳින් හඳුනන බවයි. මේ අනුව මෙම ප්‍රශ්න කිරීම් වලදී සිසුවිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

එමෙන්ම එම දුරකථනයට ඇමතුම් ලද සහ ඇමතුම ලබා ගත් පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර ලද අවසාන ඇමතුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව පොලීසිය කියා සිටියි.

කෙසේවෙතත්, මේ වනවිටත් ඇයගේ දුරකථනය අතුරුදන්ව ඇති අතර සිසුවිය මියගිය පසු ප්‍රධාන සැකකරු, විසින් මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා පවසා ඇත්තේ, ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුව දෙසට විසි කළ බවයි.

මේ අතර සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපෝච්ඡාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවය.

ඒ අනුව එම සිසුවියගේ දුරකතන දත්ත ලබාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ වන විට ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය අවසර ලබාදී ඇත.කළුතර දකුණ, ඉසුරු උයන, අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී ඇත.

කළුතර දකුණ, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල් පාරේ වැටී සිටියදී සොයා ගන්නා ලද කළුතර, නාගොඩ, සැනසුම, අංක 115 ලිපිනයේ පදිංචිව සිටි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුව, පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා විය.

සැකකරු එදින මියගොස් ඇති දැරිය සමඟ හෝටලයේ කාමර අංක 7හි එකට මත්පැන් පානය කරමින් සිටි බවට අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.

ඒ අනුව පරීක්ෂණ මෙතෙක් නිම කර නැති බැවින් ඉදිරි විමර්ශන සඳහා පැය 24ක් ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරමින් ඉදිරි පැය 48ක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවත් එය සියදිවි නසා ගැනීමක් බවත් විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටි අතර, සිය සේවාදායකයා පොලිසිය වෙත සියලු කරුණු වාර්තා කර තිබියදී රැඳවුම් නියෝග ලබා ගන්නේ මන්දැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් කරවිට මහතා විමසා සිටියේය.

උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා කියා සිටියේ සැකකරු එදින මත්පැන් පානය කර සිටියේ ද යන්න සම්බන්ධයෙන් රුධිර සාම්පලයක් ගැනීම සහ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බවයි.

සැකකරු අද දිනයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට පමුණුවන්නේ දැයි රැඳවුම් නියෝග නිකුත් කිරීමට පෙර, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියේය. උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.

නඩුව යළි හෙට (12) කැඳවීමට නියමිතයි. කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන එන ලදි.

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුයේ පසුගිය 6 වනදාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය ඊට අදාළව 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now