ජනමාධ්‍ය හදාරන්න මෙන්න විශේෂ අවස්ථාවක්..රුපියල් ලක්ෂ 02ක මුදලක්..

Tamil Media Telegraph Media Group Sri Lanka Social Media Journalists In Sri Lanka Education
By Aruna Sep 11, 2023 05:26 AM GMT
Report

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2023 වසර සඳහා "ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන" සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

සෑම වර්ෂයකම ක්‍රියාත්මක කරන මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය‍වේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙවර අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2023 ඔක්තෝබර් 11යි.

එම අමාත්‍යාංශය පවසන්නේ, මාධ්‍ය‍වේදීන්ට මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් දෙවරක් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත්, පළමු ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් වසර 05ක් ඉක්මවා ගිය පසුව දෙවැනි අවස්ථාව සඳහා අයදුම් කළ හැකි බවයි.

ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් උපාධි හා පශ්චාත් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් (රු. 200,000/=) හා දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (රු. 100,000/=) උපරිමයක මුදලක් ගෙවීමට නියමිතයි.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලැබූ මාධ්‍ය‍වේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50%ක් පාඨමාලාව ආරම්භයේදී පළමු වාරිකය ලෙස ගෙවන අතර ඉතිරි 50%න් 25%ක් දෙවැනි වාරිකය ලෙසත් ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ සඳහා ඉල්ලුම් පත් ඉදිරිපත් කළ හැක්කේ වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18 – 55 අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් හා මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ටයි.

ඉල්ලුම් කරන පාඨමාලාව ඍජුවම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විය යුතුයි.

අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 2023 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත ලබා තිබීම අනිවාර්ය වෙනවා.

ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය වන්නේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර අනතුරුව සුදුසුකම්ලාභීන් තෝරා ගැනීම සිදු කරයි.

මෙම වැඩසටහන සඳහා අයදුම් කරන සියලු අයදුම්පත් ඔක්තෝබර් 11 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), ජනමාධ්‍ය අමාත්‍යාංශය අංක 163, ‘ඇසිදිසි මැඳුර’ කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.

වැඩි විස්තර, දුරකතන අංක 0112513645 / 0112514632 ඇමතීමෙන් හෝ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.