ජපානයෙන් විශේෂ ධූත පිරිසක් අද ලංකාවට එයි..

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Jul 28, 2023 12:31 AM GMT
Report

ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අපේක්ෂාවෙන් දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු ඇමැති හයෂි යොෂිමාසා මහතා අද (28) ශ්‍රී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජපාන විදේශ ඇමැතිවරයාට අමතරව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකාමි මනබු, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරීමා යුටකා, ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් එන්ඩෝ කෂුයා, නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඔකානෝ යුකිකො මහත්ම මහත්මීන් ඇතුළු 24 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක්ද මේ සංචාරයට එක් වන අතර, ඔවුන් දින දෙකක කාලයක් මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡාවල නිරත වන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප්‍රකාශ කර තිබේ.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන විදේශ කටයුතු ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාවේ නව මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර, මෙරට රැඳී සිටින කාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි මහත්වරුවන් හමු වී සාකච්ඡා කිරීමටද නියමිත බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියා.

මෙරටට පැමිණෙන ජපාන විදේශ කටයුතු ඇමැතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා රජය සමඟ පැවැත්වෙන නිල සාකච්ඡාවලට අමතරව ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතියක ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටද නියමිතව බවයි පැවසෙන්නේ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, පසුගිය 2019 වර්ෂයෙන් පසුජපාන ඇමැතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර මේ සංචාරය ශ්‍රී ලංකාවට සහ ජපානයට එකසේ වැදගත් වන බවයි.