විභාග ලකුණු විතරක් බලලා හරියන්නේ නැහැ - අගමැතිනිය පාසල්වලට දුන් විශේෂ පණිවිඩය
පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබාදෙන ස්ථානයක් නොව, දරුවන්ගේ නායකත්ව හැකියාවන්, කණ්ඩායම් හැඟීම සහ ජීවිතයට අවශ්ය වටිනාකම් වර්ධනය කරන ස්ථානයක් විය යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ඊයේ (30) කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ වාර්ෂික ත්යාග ප්රදානෝත්සවයට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය පෙන්වා දුන්නේ විභාගවලින් ඉහළ ප්රතිඵල ලබාගන්නා දරුවන් පමණක් නොව, ක්රීඩා, කලාව සහ විෂය සමගාමී ක්රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්රවල දක්ෂතා දක්වන දරුවන්ගේ හැකියාවන් ද හඳුනාගෙන නිසි ඇගයීමකට ලක් කිරීම අත්යවශ්ය බවයි.
විශේෂයෙන් උසස් පෙළ ශ්රේණිවල පිරිමි දරුවන් ක්රමයෙන් පාසල් අධ්යාපන පද්ධතියෙන් ඉවත්වීමේ ප්රවණතාවක් පිළිබඳව ද අග්රාමාත්යවරිය මෙහිදී අවධානය යොමු කළාය. එම තත්ත්වයට බලපාන හේතු පිළිබඳව ගැඹුරින් අධ්යයනය කිරීමේ අවශ්යතාව ද ඇය අවධාරණය කළාය.
දරුවන්ට පාසල තුළින් ආදරය සහ රැකවරණය ලබාදීම මෙන්ම සමාජය තුළ සාර්ථකව ජීවත්වීමට අවශ්ය කුසලතා වර්ධනය කිරීම ද වැදගත් බව ඇය පෙන්වා දුන්නාය.
ඒ සඳහා දරුවන් පාසල තුළ රඳවාගත හැකි ආකර්ෂණීය සහ සහායක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම පාසල් පද්ධතියේ වගකීමක් බව ද අග්රාමාත්යවරිය සඳහන් කළාය. වර්තමානයේ ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර දැනුම, තාක්ෂණය සහ රැකියා ක්ෂේත්රයන් ද නිරන්තරයෙන් පරිවර්තනය වෙමින් පවතින බව ද ඇය පෙන්වා දුන්නාය.
එවැනි පසුබිමක ජීවිතය පොතපතේ දැනුමට හෝ ඩිජිටල් උපාංගවලට පමණක් සීමා නොවිය යුතු බවත්, ජීවිත කාලය පුරා ඉගෙන ගැනීමේ හැකියාව සහ සමාජය නිවැරදිව අවබෝධ කරගැනීමේ ශක්යතාව දරුවන් තුළ වර්ධනය කළ යුතු බවත් ඇය පැවසුවාය. එම හැකියාවන් වර්ධනය කර නොගතහොත් අනාගතයේදී වෙනස් වන ලෝකය තුළ සාර්ථකත්වය අත්කර ගැනීම දුෂ්කර වනු ඇති බව ද අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.