“එන්න ගුවනේ අත්දැකීම් පොළවේ විඳ ගන්න “ ගිය බස් රථයක වන අලියෙක් ගැටී සිදු වූ දේ මෙන්න..(PHOTOS)
ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් වන අලියකුගේ ගැටීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදු වී ඇති බව ඉපලෝගම පොලීසිය පවසනවා.
කැකිරාව සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක්, මෙලෙස අනතුරකට ලක්ව ඇත.
අද අලුයම 5.20 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනය ඉදිරියේදී මෙම අනතුර සිදුව ඇති අතර, බීජ පර්යේෂන ආයතනයේ රැදී සිටි වන අලියකු නැවත වනයට යාම සඳහා වැට කඩාගෙන මාර්ගය හරහා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
බස් රථයේ වම් පස කෙළවරේ වන අලියා ගැටී ඇති අතර, ඒ සමඟ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විශාල මාර ගසක ගැටී බස් රථය අනතුරට ලක්ව ඇති බවත්, අනතුරින් බස් රථයට දැඩිව අලාභ හානී සිදුව තිබේ.
අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගීන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
අනතුරට පත් බස් රථයේ “එන්න ගුවනේ අත්දැකීම් පොළවේ විඳ ගන්න “ යැයි පාඨයක්ද සඳහන්ව තිබූ අතර, අනතුර දැක බලා ගන්නට පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානය ඊට ද යොමු වීම ද විශේෂත්වයක්.
මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා නිරන්තරයෙන් අලි මාරු වන බවත්, මේ ආකාරයෙන් සිදු වන්නට ගිය මාරක අනතුරු රැසක් රියදුරන්ගේ සැලකිලල හේතුවෙන් මඟ හැරුණු බවත්, මීට වඩා විශාල අනතුරක් සිදු වන්නට පෙර මේ සඳහා පිළියමක් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීන් අදාල බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.
ඊයේ (23) දිනද කුඹුක්ඇන්ද වැවෙහි වන අලින් 05 දෙනෙකු ද රැදී සිට ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මීට අදාල ඡායාරූප කිහිපයක් පහතින්,