නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ විමර්ශන අවසන් - අධි චෝදනා ගැන CIDගෙන් දැනුම්දීමක්
ශ්රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඇති බැවින්, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුව අද (14) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.
ඒ අනුව, නඩුව යළි නොවැම්බර් 18 වැනිදා කැඳවීමට මහේස්ත්රාත්වරයා දින නියම කළේය. එදිනට අදාළ සිද්ධියේ සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම්, ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කර තිබේ.
මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර සිටින බව ද සඳහන් වේ.
මේ අතර, සිද්ධියේ පළමු සැකකරු වන කපිල චන්ද්රසේන මහතා මියගොස් ඇති බවට දැනුම් දී ඇතත්, ඒ සම්බන්ධ මරණ සහතිකය මෙතෙක් විමර්ශන නිලධාරීන් වෙත ලැබී නොමැති බව ද අධිකරණයේදී අනාවරණය වී තිබේ.
එමෙන්ම, දෙවැනි සැකකාරිය වන ප්රියංකා නියෝමාලි සහ ශාමින්ද්ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරි ක්රියාමාර්ග ගනිමින් සිටින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.