කැනේඩියානුවන්ට වීසා ලබාදීම අත්හිටුවයි..! හේතුව ඝාතනයක්..?

India Canada
By Sewvandhi Sep 21, 2023 10:09 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා ලබා දීම ඉන්දියාව විසින් අත්හිටුවා තිබේ.

කැනඩාවේදී සීක් බෙදුම්වාදියෙකු වූ හර්දීප් සිං නිජ්ජර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් උත්සන්න වන වාචික යුද්ධයක් මධ්‍යයේ ඉන්දියාව මෙම පියවර ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය දූත මණ්ඩල කාර්යාලයෙන් ලද පණිවිඩයක් පළ කරමින් වීසා සේවා සපයන ආයතනයක් වන BLS සඳහන් කර තිබුණේ, “මෙහෙයුම් හේතු” මත අදාළ තීරණය ගෙන ඇති බව ය.

“ඉන්දියානු දූත මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්: මෙහෙයුම් හේතු මත, 2023 සැප්තැම්බර් 21 සිට ක්‍රියාත්මක වන පරිදි, ඉන්දියානු වීසා සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත,” යන්න එහි සඳහන් විය.

මෙම බෙදුම්වාදී නායකයාගේ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බව‍ට වන “විශ්වසනීය චෝදනා” පිළිබඳව විමර්ශනය කරන බව කැනඩාව ප්‍රකාශයට පත් කිරීමත් සමග ආතතීන් උත්සන්න විය.

ඉන්දියාව කෝපයෙන් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණේ, එය “විකාරයක්” ලෙස හඳුන්වමිනි. හර්දීප් සිං නිජ්ජර් ප්‍රමුඛ පෙළේ සීක් බෙදුම්වාදියෙකු වූ අතර ජූනි 18 වන දා බ්‍රිටිෂ් කොලොම්බියාහි සීක් කෝවිලක් අසලදී මුහුණු ආවරණය කර ගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඔහු ඔහුගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබිණි.

ඝාතනයට ලක් වන විට ඔහු හතළිස් පස් වන වියේ පසු විය. නිජ්ජර් 1997 වසරේදී කැනඩාවේ පදිංචියට ගොස් තිබුණු අතර පන්ජාබය තුළ පිහිටි ස්වාධීන සීක් රාජ්‍යයක් සඳහා ව්‍යාපාර සිදු කළ කණ්ඩායමක් වන කාලිස්ථාන් ටයිගර් ෆෝස් සමග ඔහු සම්බන්ධතා පවත්වන බව කියමින් ඉන්දියාව 2020 වසරේදී ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේ ය.