ශ්‍රී ලංකාව සමඟ ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් නව සංශෝධනයක්
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුම (Double Taxation Avoidance Agreement - DTAA) සඳහා ඉන්දියාව නව සංශෝධනයක් එක් කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, ගිවිසුමට "ප්‍රධාන අරමුණු පරීක්ෂාව" (Principal Purpose Test - PPT) නමැති නව රෙගුලාසිය ඇතුළත් කර ඇති අතර, එය ඊයේ (19) සිට බලපැවැත්වේ.
මෙම සංශෝධනය හරහා දේශසීමා හරහා සිදුවන ආයෝජන සහ ව්‍යාපාරික ව්‍යුහයන් පිළිබඳව බදු බලධාරීන්ට වඩාත් දැඩි ඇගයීමක් සිදු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ, බදු සහන ලබා ගැනීමේ අරමුණින් පමණක් නිර්මාණය කරන ලද ආයෝජන හෝ ව්‍යාපාරික ව්‍යුහයන් හඳුනාගෙන එවැනි බදු මගහැරීම් වැළැක්වීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ බවයි.
ඉන්දීය මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මෙම නව විධිවිධාන ඉන්දියාව තුළ අප්‍රේල් 1 වැනිදා සිට උපයන ආදායම් සඳහා අදාළ වන බවයි.
නව රෙගුලාසිය යටතේ යම් ගනුදෙනුවක හෝ ආයෝජන ව්‍යුහයක ප්‍රධාන අරමුණ වාණිජමය කටයුත්තකට වඩා බදු ප්‍රතිලාභ ලබා ගැනීම බවට තහවුරු වුවහොත්, එම ගිවිසුම යටතේ හිමිවන බදු සහන ප්‍රතික්ෂේප කිරීමට බදු බලධාරීන්ට හැකියාව ලැබේ.
ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සිදුකරන සමාගම් සහ ආයෝජකයින් සිය දේශසීමා හරහා සිදුකරන ගනුදෙනුවලට පැහැදිලි ව්‍යාපාරික අරමුණු පවතින බව තහවුරු කරන ලේඛන සහ සාක්ෂි නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වනු ඇත.
මෙම සංශෝධනයත් සමඟ සමාගම්වලට සිය බදු සැලසුම් සහ ආයෝජන උපායමාර්ග යළි සමාලෝචනය කිරීමට සිදුවනු ඇතැයිද වාර්තා වේ.