මෙරටට ගෙන්වන ජංගම දුරකථන ගැන භයානක හෙළිදරව්වක්...

Manusha Nanayakkara Smart Phones
By Sithumi Jan 27, 2023 06:17 PM GMT
Report

 රජයට හිමි විය යුතු බදු ආදායම අහිමි කරමින්, රටේ ආරක්ෂාවටද තර්ජනයක් වන ආකාරයට ජාවාරමක් ලෙස පාර්සල් අදින්නන් හරහා සංවිධානාත්මක ලෙස, ලියාපදිංචියකින් තොරව ජංගම දුරකථන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කරුණු පැහැදිළි කර තිබෙනවා

පසුව අදාල ගැටළු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන්සභාව වෙත යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම කරුණු හෙළිදරව් කර ඇත්තේ ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග අද (27) පැවැත්වූ සාකච්ඡාවක දී යි.

එහි දී ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බවත් ජංගම දුරකථන ආනයනකරුවන්‌ගේ සංගමය අමාත්‍යවරයාට පවසා තිබෙනවා.

2021 වසරේ දී මෙලෙස ජංගම දුරකථන ආනයනය කිරීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 220ක මුදලක් නීති විරෝධී ලෙස උණ්ඩියල් ක්‍රමය හරහා රටින් පිටව ගොස් ඇති බවත්, එමගින් රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් බිලියන 7.8ක් වෙතැයි තක්සේරු කරන බවත්, ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නා

මේ ආකාරයට ලියාපදිංචියකින් තොරව ජංගම දුරකථන ආයනයනය කිරීම ජාතික ආරක්ෂාවට ද බලපාන බවත්, මෙම ජංගම දුරකථන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබාගැනීමට හැකියාවක් නොමැති බවත් ආනයනයකරුවන් විසින් අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

රටේ බදු ආදායමටත්, ජාතික ආරක්ෂාවටත් බලපාන, නීති විරෝධී ආකාරයට ජංගම දුරකථන ආනයනය කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉදිරිපත්වූ ඉල්ලීම් පිළිබඳ ද අවධානය යොමු කර, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් සම්බන්ධ කරගනිමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කළ බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now