ජුනි 20 මෙරට දැවැන්ත වැඩක්..! අගමැති මාධ්‍ය සහය ඉල්ලයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යය ආයතන වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. එනම් ජුනි 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණෙන බවයි.ජුනි මාසය අවසන් වන විට IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.
අග්‍රාමාත්‍යවරයා ඊයේ (9) පස්වරුවේ මෙරට මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවැති සාකච්ඡාවකදියි මේ බව ප්‍රකාශ කළේ. මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර් .එස්.එච්.සමරතුංග රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව දැනුවත් කර සිටියා.
පවතින ආහාර හිඟය හේතුවෙන් තමන් රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන දියත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.
ආහාර සුරක්ෂිතතා වැඩසටහන තුළින් ආහාර වේල් 3ක් ලබා ගැනීමට නොහැකි ජනගහනයෙන් 10%කට නොමිලයේ ආහාර ලබාදීමට රජයට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා. එහිදී රටේ තත්ත්ව සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහාය වන ලෙසයි ඔහු මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ.
අවශ්‍ය විටෙක මාධ්‍ය විසින් රජයට වගවිය යුතු බවත්, නමුත් ඒ සමඟම වගකීම් සහගත වාර්තාකරණයක් අනුගමනය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළා.
මාධ්‍ය හිමිකරුවන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අගමැතිවරයා පැහැදිලි කළේ ආර්ථිකයට සිදුවී ඇති හානිය නිසා එහි ප්‍රතිඵල රටට විඳීමට සිදුවන බවයි. කෙසේ වෙතත්, රජය මූල්‍ය සහ සැපයුම් ආධාර ලබාදීම තුළින් බලපෑම අවම කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
සමාජ අංශයේ සහාය සඳහා රුපියල් බිලියන 200 ක මූල්‍ය ආරක්ෂණ ජාලයක් රැස්කරමින් සිටින අතර ජපානයේ විශ්වාසය යළි ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මෙහිදී පැමිණ සිටි මාධ්‍ය ප්‍රධානීන් වෙත අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා.
ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබා දෙමින් රටවල් ඉදිරියෙන් සිටින බවත්, කෙසේ වෙතත් කිසිදු රටක් නොමිලේ ඉන්ධන ලබාදීමට පියවර නොගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඉදිරි මාස කිහිපය තුළ රට ගොඩනැගීමට මාධ්‍ය ආයතනවල සහාය මත තමන් විශ්වාසය තබන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |