දේශපාලනඥයන්ට කෙළින්ම පහර දෙන පොලිස්පති

Crime Latest Headlines Priyantha Weerasooriya Sinhala news Puwath.lk
By R.rishma Aug 15, 2026 11:58 AM GMT
Report

විදේශ රටවල සැඟව සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් 73 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම, තවත් සැකකරුවන් සියයකට ආසන්න පිරිසක් විදේශ රටවල සිටින බවට විශ්වාස කරන අතර, ඔවුන් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිස්පතිවරයා පැවසීය.

විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේදී ශ්‍රී ලංකා පොලිසියට ජාත්‍යන්තර මට්ටමින් සැලකිය යුතු සහයෝගයක් ලැබෙමින් පවතින බවද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

පොලිසිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළේ විනිවිදභාවය සහ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය විදේශ තානාපති කාර්යාල සහ විවිධ රටවල් විසින් විශේෂ ඇගයීමකට ලක්කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාල කණ්ඩායම්වලට සහාය ලබාදුන් පිරිස් මෙම මෙහෙයුම් හමුවේ කැළඹී සිටින බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

කිසිදු දේශපාලන බලපෑමකට හෝ අභියෝගයකට තමන් පසුබට නොවන බව අවධාරණය කළ ඔහු, ජනතාවට අසාධාරණයක් සිදුකර නොමැති බැවින් රටේ ඕනෑම ස්ථානයක නිදහසේ ගමන් කිරීමට තමන්ට බියක් නොමැති බවද පැවසීය.

ජනතාව මුළා කළ දේශපාලනඥයන්ට සැබෑ බියක් පැවතිය යුතු බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“තවත් රතු වරෙන්තුකරුවන් 73ක් විතර ගේන්න ඉන්නවා. තවත් සීයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපි කරන වැඩපිළිවෙලවල්වල විනිවිදභාවය සහ ඒ සම්බන්ධයෙන් අපිට දක්වලා තියෙන ප්‍රගතිය විදේශ තානාපති කාර්යාලවල, රටවල්වල විශේෂ ඇගයීමකට ලක් කරලා තියෙනවා.”

මෙම වැඩපිළිවෙළ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ගෙන යන ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුම්වල වැදගත් පියවරක් ලෙස සැලකේ.