RMV එකට යනවා නම් මේ ගැන දැනුවත් වෙන්න - දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීම සඳහා පැමිණෙන මහජනතාව, දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට රැඳී සිටින තැරැව්කරුවන් සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එවැනි තැරැව්කරුවන්ගේ මැදිහත්වීම් හේතුවෙන් මහජනතාවගේ මුදල් මෙන්ම වටිනා හා වැදගත් ලිපිලේඛනද අහිමි වීමේ අවදානමක් පවතින බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ අතර, එක්දින සේවාවන් ලබාගැනීම සඳහා වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම දුරකථනය හරහාද මේ වනවිට සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම, සාමාන්‍ය වාහන අයිතිය පැවරීමට අදාළ ලිපිලේඛන භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්ද පහසුකම් සලසා තිබේ.
කෙසේ වෙතත්, මෙම නිල පහසුකම් හා ක්‍රමවේද භාවිත නොකර දෙපාර්තමේන්තු පරිශ්‍රය ඉදිරිපිට රැඳී සිටින තැරැව්කරුවන්ගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් සේවාලාභීන් නොමඟ යා හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබාගැනීමේදී නිල ක්‍රමවේද පමණක් අනුගමනය කරන ලෙසත්, අවශ්‍ය උපදෙස් ලබාගැනීමේදී බලයලත් නිලධාරීන් පමණක් සම්බන්ධ කරගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.