ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් සියලු පාසල් සිසුන්ට දැනුම් දීමක්..නැතිනම් 2500ක් ගෙවන්න වෙයි..

Ministry of Education Sri Lanka
By Aruna Nov 22, 2022 01:48 AM GMT
Report

වයස අවුරුදු 15දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛයට අනුව නිසි වයසේදී හැඳුනුම්පතක් ලබා නොගන්නා පුද්ගලයන් එම වයස ඉක්මවා හැඳුනුම්පත් ඉල්ලුම් කරන අවස්ථාවන්හිදී ඔවුන් රුපියල් 2500ක දඩයකට යටත් කිරීමට හැකි බව එම චක්‍රලේඛයේ මගින් පෙන්වා දී ඇත.

මෙරට පවතින නීතිය අනුව පුද්ගලයෙකු වයස අවුරුදු 15ට එළඹීමත් සමඟ ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවට නීතියක් පවතින බව ද එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් වැඩිදුරටත් අවධාරණය කළා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හැඳුනුම්පත් ලබාදීම සඳහා ගත යුතු පියවර සඳහන් කරමින් සියලු පාසල් වෙත සෑම වසරකදී ම චක්‍රලේඛයක් නිකුත් කරන නමුත් එම පාසල් දරුවන් සියයට පනහකගේ පමණ අයැදුම්පත් තම දෙපාර්තමේන්තුව වෙත යොමු නොකරන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කළ බව ද එම ප්‍රකාශකයා වැඩිදුරට ත් පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now