ලක්ෂ සංඛ්යාත රැකියා අවදානමක? PSTA පනත ගැන ඇඟලුම් නිෂ්පාදකයන්ගෙන් රතු එළියක්
යෝජිත ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සම්මත වුවහොත් යුරෝපා සංගමයෙන් ශ්රී ලංකාවට හිමි GSP+ බදු සහනය අහිමි වීමේ අවදානමක් මතුවිය හැකි බව ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) අනතුරු අඟවයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ යෝජිත නව පනත මඟින් ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන් සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවිය හැකි බවයි.
1979 වසරේදී තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දශක හතරකට වැඩි කාලයක් තුළ අවභාවිත වූ බවට විවිධ පාර්ශ්වයන් චෝදනා කර ඇති බවත්, එය අහෝසි කරන ලෙස දිගු කලක සිට ඉල්ලීම් ඉදිරිපත් වූ බවත් JAAF පෙන්වා දෙයි.
එවැනි පසුබිමක නව PSTA පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණද, එමඟින් පැරණි නීතියේ පැවැති මර්දනකාරී ලක්ෂණ බොහොමයක් තවදුරටත් පවත්වාගෙන යන බවට විවේචන එල්ල වී ඇති බව ද එම සංගමය සඳහන් කරයි.
GSP+ සහනයට මානව හිමිකම් කොන්දේසි
යුරෝපා සංගමයේ GSP+ බදු සහනය යටතේ ශ්රී ලංකාවේ නිෂ්පාදන රැසකට යුරෝපා වෙළෙඳපොළට තීරුබදු රහිතව හෝ සහනදායී බදු අනුපාත යටතේ ප්රවේශ වීමේ අවස්ථාව හිමි වේ.
එහෙත් එම සහනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මානව හිමිකම්, සේවක අයිතිවාසිකම් සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධ ජාත්යන්තර සම්මුතීන් ක්රියාත්මක කිරීම ඇතුළු කොන්දේසි සපුරාලීම අනිවාර්ය වේ. ඒ අනුව නව ත්රස්ත විරෝධී නීතියක් සකස් කිරීමේදී ත්රස්තවාදය පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීම්, අදහස් ප්රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ අයිතිය සහ අධිකරණයේ ස්වාධීන අධීක්ෂණය සහතික කළ යුතු බව ජාත්යන්තර පාර්ශ්වයන් අවධාරණය කර ඇති බව JAAF පෙන්වා දෙයි.
ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක්
ශ්රී ලංකාවේ විශාලතම අපනයන කර්මාන්තයක් වන ඇඟලුම් ක්ෂේත්රය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් උපයන අතර, සමස්ත භාණ්ඩ අපනයනයෙන් සියයට 40කට වැඩි දායකත්වයක් සපයයි. එමෙන්ම ශ්රී ලංකාවේ ඇඟලුම් අපනයනවලින් සියයට 30කට වැඩි ප්රමාණයක් මිලදී ගනු ලබන්නේ යුරෝපා සංගමය විසිනි.
කෙසේ වෙතත්, 2026 වසරේ මුල් භාගයේදී යුරෝපා සංගමය වෙත ශ්රී ලංකාව සිදුකළ ඇඟලුම් අපනයන 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 8කින් පහත වැටී ඇති බව ද JAAF සඳහන් කරයි. එම කාලය තුළ චීනයෙන් යුරෝපයට සිදුකළ ඇඟලුම් ආනයන සියයට 5කින් සහ වියට්නාමයෙන් සිදුකළ ආනයන සියයට 9කින් ඉහළ ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. මෙවැනි තත්ත්වයක් යටතේ යුරෝපා වෙළෙඳපොළ තුළ ශ්රී ලංකාවේ තරගකාරීත්වය තවදුරටත් දුර්වල වීමේ අවදානමක් පවතින බව සංගමය පෙන්වා දෙයි.
PSTA පනත් කෙටුම්පතේ ගැටලු රැසක්
නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීති විශාරදයන් පෙන්වා දෙන ප්රධාන ගැටලු කිහිපයක් ද JAAF සිය නිවේදනය මඟින් ඉදිරිපත් කර තිබේ.
ඒ අතර,
- සාමාන්ය අපරාධ නීතිය යටතේ පාලනය කළ හැකි ක්රියාකාරකම් පවා ත්රස්තවාදී ක්රියා ලෙස අර්ථකථනය කළ හැකි පුළුල් හා අපැහැදිලි නිර්වචන ඇතුළත් වීම.
- ප්රමාණවත් අධිකරණ මැදිහත්වීමකින් තොරව සංවිධාන තහනම් කිරීමේ බලතල ජනාධිපතිවරයාට පැවරීම.
- සාමාන්ය ජනතාවගේ ගමනාගමනය සීමා කිරීමේ නියෝග පැය 72ක් දක්වා අඛණ්ඩව ක්රියාත්මක කිරීමට පොලිසියට බලය ලබාදීම.
- රඳවා තබා ගැනීමේ නියෝග මාස දෙක බැගින් අලුත් කරමින් වසරක් දක්වා දීර්ඝ කිරීමට හැකි වීම.
- සාමාන්ය වැසියන් සෙවීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට බලතල ලබාදීම.
යන කරුණු ප්රධාන වශයෙන් පෙන්වා දී ඇත.
අධිකරණ අධීක්ෂණය ශක්තිමත් කළ යුතුයි
ජාතික ආරක්ෂාව සඳහා අවශ්ය නීතිමය බලතල පැවතිය යුතු බව පිළිගන්නා නමුත්, එම බලතල අධිකරණ අධීක්ෂණයකට යටත් විය යුතු බව JAAF අවධාරණය කරයි. රඳවා තබා ගැනීමේ නියෝග අනුමත කිරීමට පෙර මහේස්ත්රාත්වරුන්ට අදාළ සාක්ෂි සලකා බැලීමට අවස්ථාව ලබාදීම, සංවිධාන තහනම් කිරීමේදී අධිකරණයට බලතල ලබාදීම සහ අත්අඩංගුවට ගැනීමේ බලතල සිවිල් පොලිසියට සීමා කිරීම වැනි සංශෝධන සිදුකළ යුතු බව ද එම සංගමය පෙන්වා දෙයි.
GSP+ සහනය අහිමි වුවහොත් ආර්ථිකයට දැඩි බලපෑමක්
වත්මන් GSP+ සහන කාලසීමාව 2027 වසරේදී අවසන් වීමට නියමිත බැවින්, ඉදිරි සහන කාලසීමාව සඳහා ශ්රී ලංකාව නැවතත් සුදුසුකම් සපුරාලිය යුතු බව JAAF සඳහන් කරයි. යෝජිත PSTA පනත වත්මන් ආකාරයෙන් සම්මත වුවහොත්, ඉදිරි GSP+ සහනය ලබාගැනීමේ ක්රියාවලියට බරපතළ බාධාවක් එල්ල විය හැකි බවට ද සංගමය අනතුරු අඟවයි.
GSP+ සහනය අහිමි වීමෙන් ශ්රී ලංකාවේ ඇඟලුම් අපනයනවලට පමණක් නොව, එම කර්මාන්තය මත යැපෙන ලක්ෂ සංඛ්යාත ජනතාවගේ රැකියා සහ ජීවනෝපායන්ට ද බලපෑම් එල්ල විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
එබැවින් ජාතික ආරක්ෂාව සහතික කරන අතරම මානව හිමිකම් හා ජාත්යන්තර වෙළෙඳ ප්රමිතීන් ආරක්ෂා වන පරිදි යෝජිත පනත් කෙටුම්පතේ පවතින දුර්වලතා නිවැරදි කිරීම අත්යවශ්ය බව JAAF අවධාරණය කරයි. පනත සම්මත කිරීමෙන් පසුව නොව, පාර්ලිමේන්තු ක්රියාවලිය තුළදීම අවශ්ය සංශෝධන සිදුකිරීම රටේ ආර්ථික අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් වනු ඇති බව ද ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.