වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීම වැළැක්වීම ගැන මානව හිමිකම් කොමිසමේ දැඩි විරෝධය
වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් කොමිසම සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.
පසුගිය ජූලි 7 වැනිදා කොමිසමේ නිලධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගොස් තිබුණද, ඔවුන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර ලබාදී නොතිබූ බව සඳහන් වේ.
1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම රැඳවුම් ස්ථානයකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ බලය කොමිසමට හිමිව ඇති අතර, එම නීතිමය ප්‍රතිපාදන බන්ධනාගාර බලධාරීන් විසින් උල්ලංඝනය කර ඇති බව කොමිසම පෙන්වා දෙයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 වැනිදා පැවැති සාකච්ඡාවකදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේ බන්ධනාගාරය තුළ පැවැති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදුන් බවය.
එම තත්ත්වය පිළිබඳ නිසි ලෙස දැනුම් නොදීම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් කනගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතික වී තිබේ. කෙසේ වෙතත්, එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසු වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කළ රැඳවියන්ට පළිගැනීම් වශයෙන් වධහිංසා පැමිණවීම, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම, ඔවුන් රඳවා සිටින ස්ථාන පිළිබඳව පවුල්වලට දැනුම්දීම ප්‍රමාද කිරීම සහ දඬුවම් කාලය අවසන් වූ රැඳවියන් දිගින් දිගටම රඳවා තැබීම ඇතුළු බරපතළ චෝදනා සම්බන්ධයෙන් ද කොමිසම ප්‍රශ්න කර තිබේ.
බන්ධනාගාර අත්අඩංගුවේ පසුවන්නන්ට සිදුවූ වධහිංසා, අමානුෂික සැලකීම් සහ මරණ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා පූර්ණ සහාය ලබාදෙන ලෙස කොමිසම වැලිකඩ බන්ධනාගාර බලධාරීන්ට දැනුම් දී ඇත.
සිද්ධිය සැලකිල්ලට ගනිමින්, මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර බලධාරීන්ට නීත්‍යානුකූලව කොමිසමට හිමි පරීක්ෂණ බලතලවලට බාධා නොකිරීම, මාරු කළ රැඳවියන්ට එරෙහි පළිගැනීම් වහාම නතර කිරීම, රැඳවියන්ගේ ස්ථාන පිළිබඳව ඔවුන්ගේ පවුල්වලට කඩිනමින් දැනුම්දීම සහ දඬුවම් කාලය අවසන් කළ රැඳවියන් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබේ.