ශ්‍රී ලංකාවට Internet එන්නේ කොහොමද?
අපි දැන් Internet නැතුව ජීවත් වෙන්න බැරි තැනටම වැටිලද මන්ද.හැබැයි internet ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නෑ නේද? ඉස්සර ඉඳන්ම හිතාගෙන හිටියේ ලංකාවට internet එන්නේ චන්ද්‍රිකා හරහා කියලා. ඒත් පස්සේ තමයි දැනගත්තේ මුහුද අස්සෙන් එන කේබල් වලින් තමයි ලංකාවට internet ලැබෙන්නේ කියලා.
මේ විදිහට මුහුද යටින් එක එක රටවල් යා කරමින් සම්බන්ධ කෙරෙන මේ කේබල්ස් හඳුන්වන්නේ සබ්මැරීන් කේබල්ස් ලෙසයි. ලෝකය පුරාවටම internet අරන් යන්නේ මේ කේබල් වලින්. මේවා සම්බන්ධ වෙන කලාප අනුව වනම් කෙරෙනවා. එතකොට ල ලංකාවට internet අරන් එන කේබල් එක SEA-ME-WE ලෙසයි හඳුන්වන්නේ. මේ SEA-ME-WE අකුරු වලින් කියවෙන්නේ South East Asia – Middle East – West Europe.
SEA-ME-WE කේබල් පද්ධතිය
SEA-ME-WE කේබල් පද්ධතිය, ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව තෙක් දිවෙනවා. ඒ අනුව ප්‍රංශය සහ සිංගප්පූරුව අතර තියෙන රටවල් විශාල ප්‍රමාණයක් මේ කේබල් පද්ධතිය නිර්මාණය කරන්න මුදල් අයෝජනය කරනවා. එතකොට, ඒ ඒ රටවල් ආයෝජනය කරන මුදල් ප්‍රමාණය අනුව තමයි ඒ ඒ රටට ලැබෙන internet bandwidth එක, එහෙමත් නැත්තම් ධාරිතාවය තීරණය වෙන්නේ. මේ SEA-ME-WE පද්ධතියට අමතරව තවත් කේබල්ස් පද්ධති 4ක් තියෙනවා.
SEA-ME-WE 1
1984 වර්ෂයේ පෙබරවාරි මාසයේ 14 වෙනිදා රටවල් 21ක දුරකතන සේවා සපයන ආයතන 22ක් එකතුවෙලා SEA-ME-WE 1 submarine cable system එක ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාකිරීම සහ නඩත්තු කිරීම සඳහා ගිවිසුමකට එළඹුණා. ඉතින් ඊට පස්සේ තමයි මේ කේබල් පද්ධතිය නිර්මාණය වෙන්නේ. මේක කොටස් 8කින් සමන්විතයි.
- ප්‍රංශය
- ඉතාලිය
- ඊජිප්තුව
- සෞදි අරාබිය
- ජිබූටි
- ශ්‍රී ලංකාව
- ඉන්දුනීසියාව
- සිංගපූරුව
මෙය කිලෝමීටර් 13,000කට ආසන්න වූ දිගකින් යුක්ත අතර මෙය ඉදිරීම් කටයුතු සඳහා සිංගපූරු ඩොලර් මිලියන 800කට අධික මුදලක් වැය වෙලා ඇති බව සඳහන්. ඒ වන විට ලොව තිබූ දීර්ඝතම සබ්මැරීන් කේබල් මේක. මේ කේබල් පද්ධතිය නිර්මාණය වී තිබුනේ තඹ කම්බි වලින් අතර මේ හරහා දුරකතන සම්බන්ධතා, telex, telegram, fax, සහ internet යන සේවා සැපයුවා. මෙහිදී කෙබල්ස් 4ක් භාවිතා කළා. කෙසේ වෙතත් මෙම කේබල් පද්ධතිය 1999 වර්ෂයේදී භාවිතයෙන් මුළු මුනින්ම ඉවත් කරනු ලැබුවා.
SEA-ME-WE 2
කලින් කේබල් එකට වඩා SEA-ME-WE 2 කේබල් පද්ධතියේ දකින්න ලැබෙන වෙනස තමයි මෙහි එක ලයින් එකක් යන කේබල් එකක් ඇතුලේ තඹ කම්බි දෙකක් ඇතුලත් වීම. මේකත් දැන් භාවිතයෙන් තොරයි.
SEA-ME-WE 3
ඊළඟට ආපු එක තමයි මේ optic fiber කියන්නේ. මේ හරහා තාමත් වේගයෙන් වැඩි දත්ත ප්‍රමාණයක් සහ වැඩි දුරකට රැගෙන යාමේ හැකියාව ලැබෙනවා. optic fiber කේබල්ස් භාවිතා කරමින් SEA-ME-WE 3 කේබල්ස් පද්ධතිය නිර්මාණය කිරීම 1997 වර්ෂයේදී ආරම්භ කෙරුනු අතර 2000 වර්ෂයේ අවසානය වන විට කිලෝමීටර් 39,000ක දිගකින් යුතු වුනා. මේ සඳහා රටවල් 39ක Landing points 39ක් සමන්විත වනවා. 1999දී 0.02Tbps වේගයකින් යුක්තව නිමාණය වුන මේ පද්ධතිය 2007 වර්ෂයේදී 0.96Tbps ලෙසත්, 2009 වර්ෂයේදී 1.28Tbps ලෙසත් වේගය වැඩිදියුණු කිරීමට කටයුතු කළා.
එතකොට ශ්‍රී ලංකාවට මෙම කේබල් පද්ධතියේ අදාල සබඳතාවය ලැබෙන්නේ ගල්කිස්සෙන්. මෙහි ආයෝජනය සිදු කරලා තියෙන්නේ Sri Lanka Telecom සමාගමයි. මෙහි අයිතියද Sri Lanka Telecom සමාගම සතු වනවා. කෙසේ වෙතත් ළඟදීම ඉදිකිරීමේ කටයුතු නිමා වීමට නියමිත SEA-ME-WE 6 කේබල් පද්ධතිය නිමා වීමත් සමඟ මෙහි සේවාව අවසන් වනු ඇති.
SEA-ME-WE 4
මෙම කේබල් පද්ධතිය 2004දී ඉදිකිරීම ආරම්භ කරන අතර 2005 වර්ෂය වන විට මෙය සම්පූර්ණ වෙනවා. මෙය ක්‍රියාත්මක වීම පටන් ගන්න අවස්ථාව වන විට මේ හරහා ලබා දුන් වේගය වූයේ 1.28Tbps වන අතර 2010දී එය 2.8Tbps සහ 2015දී 4.6Tbps ලෙස වැඩි දියුණු කරනු ලැබුවා.
මේ කේබල් පද්ධතිය සඳහාද ශ්‍රී ලංකාව ඇතුලුව රටවල් 16ක අන්තර්ජාල සේවා සපයන ආයතන 17ක් මඟින් ආයෝජනය කිරීම සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙහි සබඳතාවය ලැබුනේ කොළඹ ගාලු මුවදොර හරහායි. ඒ වගේම SEA-ME-WE 2 සහ SEA-ME-WE 2 යන කේබල් සබඳතා දෙකද ලංකාවට සම්බන්ධ වන්නේ ගාලු මුවදොරින්. මේ කේබල් පද්ධතියේ අයිතියත් ලැබෙන්නේ Sri Lanka Telecom ආයතනයටයි.
SEA-ME-WE 5
දැනට භාවිතා වන අළුත්ම කේබල් පද්ධතිය තමයි මේ. SEA-ME-WE 5 කේබල් පද්ධතියේ මුළු ධාරිතාවය විදිහට 38Tbps (38 Terabits per second) ලෙස නිර්මාණය කර තිබෙනවා. Sri Lanka Telecom ආයතනය විසින් කර ඇති ආයෝජනය අනුව මේ හරහා ශ්‍රී ලංකාවට 24Tbps ධාරිතාවයක සබඳතාවයක් හිමි වෙනවා. ඒ සඳහා ඔවුන් විසින් 100Gbps lines 4ක් භාවිතා කර තිබෙනවා.
Fiber optic කේබල් එකක් හරහා ආසන්න වශයෙන් තරංග ආයාම 80ක් එක වර යැවීම සිදු කළ හැකියි. ඒ අනුව එක කේබල් එකක් හරහා ආසන්න වශයෙන් 8Tbps වේගයක් ලංකාවට ලබා ගත හැකි වනවා. මේ ආකාරයට 100Gbps lines 4ක් ලංකාවට මාතරින් සම්බන්ධ වන අතර එහිදී ලංකාවට ලැබිය යුතු ධාරිතාවය 32Tbps වුණත් SLT ආයතනයේ ආයෝජනයේ ප්‍රමාණය මත එය 24Tbps දක්වා සීමා කර තිබෙනවා. Sri Lanka Telecom ආයතනය විසින් SEA-ME-WE 5 සඳහා සිදු කර ඇති ආයෝජනය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 20ක්.
SEA-ME-WE 6
මේ වෙනකොට ලංකාව SEA-ME-WE 6 කේබල් පද්ධතිය සඳහාත් අයෝජනය කරලා තියෙනවා. ඒකට යන මුළු වියදම USD මිලියන් 65ත් 72ත් අතර වෙනවා. මේ වෙනකොට SEA-ME-WE 6 එකේ landing points වෙන්නේ Bangladesh, Singapore, Malaysia, Indonesia, Thailand, Sri Lanka, India, Pakistan, Saudi Arabia, Qatar, Oman, the UAE, Djibouti, Egypt, Turkey, Italy, France, Myanmar සහ Yemen කියන රටවල්.
SEA-ME-WE කේබල් පද්ධති වලට අමතරව ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ වන වෙනත් කේබල් පද්ධති කිහිපයක්ද පවතිනවා.
- Bay of Bengal Gateway (BBG)
- Bharat Lanka
- Dhiraagu
- FLAG – Fiber-Optic Link Around the Globe
Bay of Bengal Gateway (BBG)
මේ සඳහා ශ්ර්රී ලකාව වෙනුවෙන් ආයෝජනය කළේ Dialog Axiata PLC සමාගම විසින්. ඒ අනුව මෙහි අයිතිය Dialog Axiata වෙත හිමි වන අතර මේ සඳහාද භාවිතා වන්නේ fiber optic කේබල් පද්ධතියක්. මේ කේබල් පද්ධතියේ මුළු දිග කිලෝ මීටර් 8,040ක්. මේ හරහා Dialog Axiata ආයතනයට 6.4Tbps වේගයක් හිමිවනවා.
එහෙනම් ඇයි බැරි Dialog Axiata ආයතනයට fiber optic internet ජාලයක් ගොඩනගන්න.
ඒ, මේ වන විට අන්තර්ජාල සබඳතා සහ දුරකතන සබඳතා සඳහා අවශ්‍ය කරන කේබල් පද්ධති ස්ථාපනය කිරීමේ හැකියාව සහ අවසරය TRCSL විසින් ලබා දී ඇත්තේ Sri Lanka Telecom ආයතනයට වීම හේතුවෙන්. මේ වන විටත් Dialog ආයතනය විසින් fiber optic සබඳතා සැපයූවද ඒ සඳහා ඔවුන්ද භාවිතා කරන්නේ SLT ආයතනය විසින් නිමවා ඇති fiber optic ජාලයයි.
Bharath Lanka
මේක ටිකක් වෙනස්. ඒ,මේක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පමණක් එලලා තියෙන කේබල් පද්ධතියක්. SEA-ME-WE 3 සහ 4 බහුලව භාවිතා වුන කාලයේදී යම් විදිහකින් අන්තර්ජාල සබඳතාවයට මොනයම් ගැටළුවක් ඇති වුණහොත් අන්තර්ජාලයට ශ්‍රී ලංකාව සම්බන්ධ වීම සිදු කෙරුනේ මෙම කේබල් පද්ධතිය හරහායි.
මේ පද්ධතියයේ අයිතියත් SLT ආයතනය සතු වන අතර ඉන්දියාවේ අයිතිය Bharat Sanchar Nigam Limited (BSNL) සමාගම සතු වනවා. මෙය නිර්මාණය කෙරුනේ 2006 වර්ෂයේදී. මුලින්ම මෙහි වේගය එස සඳහන් වූයේ 40Gbps උනත් පසුව සිදු කරන ලද වැඩි දියුණු කිරීම් වලින් වේගය 960Gbps දක්වා ඉහළ ගියා.මේ සඳහා SLT ආයතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 40ක ආයෝජනය කිරීමක් සිදු කර තිබෙනවා. මේ කේබල් පද්ධතියත් ලංකාවට සම්බන්ධ වන්නේ ගල්කිස්සෙන්.
Dhiraagu
මේ කේබල් පද්ධතියත් Bharath Lanka කේබල් පද්ධතිය වගේම කේබල් පද්ධතියක්. මෙය ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර නිර්මාණය කර තිබෙනවා. ඒ හරහා මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාවය වේගවත් වන අතර SEA-ME-WE 3, 4, 5 සහ Bharath Lanka සබඳතාවයන් මාල දිවයින සමඟ බෙදා ගැනීමේ හැකියාවද ලැබෙනවා. මෙය මාල දිවයින අන්තර්ජාලයට සම්බන්ධ කරන දෙවන කේබල් පද්ධතියද වන අතර ආරම්භයේදී 3Gbps වේගයක් සතු වුණා. මේ වන විට 160Gbps වේගයක් ගන්නවා.
Fiber-Optic Link Around the Globe (FLAG)
මෙය 1999දී පිහිටවපු කේබල් පද්ධතියක්. මේ සඳහා ලංකාවෙන් ආයෝජනය කරලා තියෙන්නෙ Lanka Bell ආයතනය විසින්. මේ කේබල් පද්ධතියේ මුළු දිග මේ වෙනකොට කිලෝමීටර් 28,000ක්. එකසත් රාජධානියෙන් ආරම්භ වන මේ කේබල් පද්ධතිය ජපානය දක්වාම විහිදී යනවා.නමුත් ශ්‍රී ලංකාව මේ පද්ධතියට සම්බන්ධ වෙන්නේ ඍජුව නෙවෙයි, මේ පද්ධතියේ තියෙන FALCON කියන අතිරේක කොටස හරහායි.SEA-ME-WE සහ 2 හැරුණු කොට අනිත් කේබල්ස් පද්ධති 7ක්ම මේ වන විට සක්‍රියව ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා දායක වෙනවා.
ඇයි එහෙනම් "තාමත්" ලංකාවට Unlimited internet දෙන්න බැරි?
මේකට හේතු කිහිපයක් තියෙනවා.SEA-ME-WE 5 කියන ලයින් එක තමයි මේ වෙන්කොට ලංකාවේ internet වලින් වැඩි බරක් අදින්නේ. මේ වැඩි බරක් අදින ලයින් එකෙන් එන ports 4න් ports 2ක්ම වෙන් වෙලා තියෙන්නේ රජයේ, ආරක්ෂක අංශ, ගුවන් තොටුපලවල්, වරාය, මහ බැංකුව සහ රටේ අනෙකුත් ඉතාමත් වැදගත් කියන ආර්ථික, සමාජීය මර්මස්ථාන සහ ආරක්ෂක අංශ වල භාවිතයට. ඉතිරි ports දෙක තමයි පොදු ජනතාව සඳහා භාවිතා කිරීමට අවශ්‍ය කරන අන්තර්ජාල පහසුකම් ලබා දීමට නිදහස් කරලා තියෙන්නේ. SEA-ME-WE 3 සහ 4න් සහයක් ලැබුනත් මේ වන විටත් වැඩි බරක් අදින්නේ SEA-ME-WE 5 ජාලය හරහා වන අතරම, පොදු පරිභෝජනය සඳහා ලබා දී ඇති ports දෙක හරහා ලැබෙන වේගයට වඩා වැඩි වේගයක් රජයට හිමි වෙනවා.