නිවසේ අයිතිකරුවන් සිරකර නිවස කොල්ල කයි
ව්‍යාපාරිකයෙකුගේ ඌරුබොක්ක, හුලංදාවේ පිහිටි නිවසකට ඇතුළුවූ සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් රුපියල් කෝටියක මුදල්, රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකා පළාගොස් ඇත.
මෙලෙස කොල්ලකා ඇත්තේ, රෝගාතුරව සිටින සිය පුත්‍රයාගේ සැත්කම සඳහා තමා සන්තකයේ තිබූ මුදල් බවයි අදාල ව්‍යාපාරිකයා පවසන්නේ.
ඊයේ (11) උදෑසන 11ට පමණ මෙම ව්‍යාපාරිකයාගේ රෝගීවී සිටින පුත්‍රයාගේ සුවදුක් විමසීමට ඥාතීන් සිව්දෙනෙක් ඔහුගේ නිවසට පැමිණ තිබේ. ඒ අතරතුර රතු පැහැති මෝටර් රථයකින් නිවසට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් පිස්තෝල සහ තියුණු ආයුධවලින් සන්නද්ධව නිවසට ඇතුළු වී ඇත.
එම පුද්ගලයන්ගෙන් එක් අයෙකු පමණක් මුහුණ ආවරණය කර සිට ඇති අතර, ඔවුන් නිවැසියන් හා පැමිණ සිටි ඥාතීන් ඇතුළු පුද්ගලයින් 9 දෙනා බිය ගන්වා, කාමර 2ක සිරකර ඔවුන් සතුව තිබූ පවුම් 4ක රන් භාණ්ඩ හා ජංගම දුරකථන 3ක් පැහැරගෙන තිබේ.
ඉන්පසු ඔවුන් නිවසේ කාමරයක තිබූ රුපියල් අනුඅට ලක්ෂ පනස් දහසක මුදලක් ද කොල්ලකා ඇති බව පොලීසිය පවසයි. කොල්ලය සිදුවන අතරවාරයේ තවත් ඥාතී යුවළක්ද නිවසට පැමිණ ඇති අතර, ඒ අතරින් පිරිමි පුද්ගලයා කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවෙද්දී කාන්තාව පැනගොස් තිබේ.
කොල්ලකරුවන් මිනිත්තු තිහකට වැඩි කාලයක් නිවසේ රැඳීසිට ඇති අතර, පැහැරගත් රන්භාණ්ඩ අතරින් කුඩා දරුවෙකුගේ ගෙල බැඳි රන් මාලයක් පමණක් යළි ලබාදී, ඔවුන් පැමිණි මෝටර් රථය යළි එහි ගෙන්වාගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.
රෝගීවී සිටින සිය පුත්‍රයාගේ සැත්කමක් සඳහා සහ ව්‍යාපාරික කටයුත්තක් සඳහා අවශ්‍ය මුදල් නිවසේ තිබූ බව ව්‍යාපාරිකයා පැවසීය.
ඌරුබොක්ක පොලීසිය, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වී සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.