හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරයි
බස්නාහිර පළාත් සභාව යටතේ පරිපාලනය වන හොරණ දිස්ත්‍රික් මහ රෝහල සියලු භෞතික හා මූල්‍ය වත්කම් සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2022 ජූනි 3 වැනිදා මූලික රෝහලක සිට දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කළ මෙම රෝහලේ දැනට ඇඳන් 544ක ධාරිතාවක් සහ 739 දෙනෙකුගෙන් සමන්විත අනුමත කාර්ය මණ්ඩලයක් පවතී.
හොරණ නගරය සහ ඒ අවට කළුතර, කොළඹ හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ ආවරණය වන පරිදි මධ්‍යගතව පිහිටි මෙම රෝහල මඟින් ආසන්න වශයෙන් ලක්ෂ 10ක ජනතාවකට සෞඛ්‍ය සේවා සපයනු ලබයි.
දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස තෘතීයික සත්කාර සේවා තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මානව සම්පත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සුදුසු බව හඳුනාගෙන තිබේ.
ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවද හිමිව ඇති අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.