විවාහ වී මධුසමය පාසලේ ගතකරමින් ලෝකයටම පාඩමක් ඉගැන්වූ තරුණ යුවල.
ජාති ආගම් භේදයකින් තොරව ලෝකයේ ජීවත්වෙන සෑම කෙනෙකුම ලොකු මහත් වෙද්දී ජිවිත කාලය තුළ නොයෙකුත් අවස්ථාවන්වලදී කිසිදා අමතක නොවන සිහිවටනයන් ජිවිතයට එකතු කර ගන්නව වර්තමානයේ සුලභව දකින්නට ලැබෙනව.
එවැනි අවස්ථා හරිම සුන්දරයි. එම අවස්ථාව තවත් විචිත්‍රවත් කරමින් විවාහ උත්සවය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශ තරුණ යුවළක් වැලිගම, මිදිගම, නාකන්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අඩුපාඩු සොයා බැලීමට පසුගිය දා එක් වීම විශේෂත්වයක්.
ලිතුවේනියාවේ, විල්නියස් නගරයේ පදිංචි Laima Griskeviciene තරුණිය දන්ත වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන අතර Ernestas Griskevicius තරුණයා ප්‍රවාහන කළමනාකරුවකු ලෙස කටයුතු කරයි.
ඔවුන්ගේ ජීවිතයේ වාසනාවන්තම සන්ධිස්ථානයක් වූ විවාහ උත්සවය ඉතාමත් විචිත්‍රවත් අන්දමින් දෙපාර්ශවයේ නෑදෑ හිතවතුන් සහ මිතුරන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා එරටදී සිදු වුණා.
කෙසේ වෙතත්, මෙම තරුණ යුවළ මංගල සවාරිය සඳහා තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්.
එහිදි පසුගිය 17 දින ලංකාවට පැමිණි මේ දෙදෙනා පොලොන්නරුව, ඇල්ල, මිරිස්ස, සීගිරිය සහ නුවර ප්‍රදේශවල සංචාරය කළා.
මේ අතරතුර ඔවුන්ගේ අවශ්‍යතාවය වුණේ අඩු පහසුකම් සහිත පාසලක් තෝරා ගෙන එම පාසලට උපකාර කිරීමයි.
මේ සත්ක්‍රියාව සඳහා සංචාරක නියාමක ලෙස කටයුතු කරන නාකන්ද පදිංචි උදය වළවගේ විසින් අවශ්‍ය මඟපෙන්විම සිදු කරනු ලැබී ය.
ඒ අනුව, ඊයේ (29) උදෑසන මිදිගම නාකන්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට පැමිණි එම යුවළ විසින් එරටින් ගෙන එන ලද ටොෆි, චොක්ලටි, බිස්කට් ආදිය පාසලේ සියලුම දරුවන්ට ලබා දීමටත්, රුපියල් 30,000ට වඩා වැඩි වටිනාකමකින් යුත් සිවිලින් ෆෑන් දෙකක් සහ මුදලින් රුපියල් 10,000ක් විද්‍යාලයට පරිත්‍යාග කිරිමට කටයුතු කළා.
පාසලේ රැඳී සිටිමින් ගත කළ කාලය තුළදී දරුවන් සමඟ විනෝද වීමටත්, සිහිවටනයක් ලෙස පාසල් වත්තේ දෙමුහුන් පොල් පැළයක් සිටුවීමටත් ඔවුන් විසින් කටයුතු කිරීම ද විශේෂත්වයක්.
මේ සියලු දෑ නිමවීමෙන් පසු බෙහෙවින් සතුට පත් මෙම විදෙස් යුවළ පවසා සිටියේ ලංකාවෙි ආගන්තුක සත්කාර බෙහෙවින් අගය කරන බවත්, මෙම නාකන්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය වගේම ලංකාවේ තවත් පාසල් වැඩි දියුණු කිරීම සදහා හිතවතුන්ගේ ආධාර උපකාර ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.