"වැඩ වර්ජන කරනවා නම්,පඩි කපන්න"සෞඛ්‍ය වර්ජනයේ නවතම තතු..

Sri Lanka Strike Keheliya Rambukwella Saman Rathnapriya
By Sewvandhi Feb 11, 2022 03:30 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

වැටුප් විෂමතාව ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය අද (11) 5වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඒ සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සිදුකරන වැඩවර්ජන අත්හිටුවන ලෙස  කොළඹ දිසා අධිකරණය ඊයේ (10) වාරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ අදාළ වාරණ නියෝගය මෙතෙක් තම සංගමයට ලැබී නොමැති බවය. 

"වාරණ නියෝගය අපිට ලැබුණාම අපේ විධායක සභාව රැස්කරලා තීන්දුවක් ගන්න බලාපොරොත්තුවෙනවා."  සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, අධිකරණ නියෝගවලට ගරු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට සෞඛ්‍ය සේවකයින් කටයුතු කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, "අපි විශ්වාස කරනවා අධිකරණයට ගරු කරමින් වර්ජනය නතරවෙයි කියලා." වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපයේ මෙන්ම අදත් රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සායනික සහ බාහිර රෝගීන්ට ඖෂධ සැපයීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, වාට්ටු සහ ඒකකවල රෝගී සත්කාරක සේවාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවන් අඩපණ වී තිබුණි.

  කෙසේවෙතත් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ පීඩාවට පත්වූ ජනතාව සඳහන් කළේ,

"බෙහෙත් දෙන්නේ නෑ කිව්වා. යන්න කිව්වා. දැන් ඉතින් මැරිලා වැටෙන එකයි තියෙන්නේ. උදේට ඇවිත් අත්සන් කරලා දවල්ට ස්ට්‍රයික් කරනවා. කඳුළු ගෑස් ගහලා එලවලා දාන්න ඕනේ. ස්ට්‍රයික් කරනවා නම් පඩි කපන්න ඕනේ." 

මේ අතර ඊයේ දිනයේ පැවැත්වූ උද්ඝෝෂණ සඳහා සහභාගී වූ  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් යන වෘත්තීය සමිති නායකයින් අද (11) උද්ඝෝෂණ සඳහා එක්ව සිටිනු දක්නට නොලැබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now