එල්නිනෝ උණුසුම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි රතු එළියක්
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය මේ බව පැවසුවේ අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අධික උෂ්ණත්වය හේතුවෙන් සමේ කුෂ්ඨ ඇතිවීම, මස්පිඩු පෙරළීම ඇතුළු සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි අතර, දැඩි උණුසුමට නිරාවරණය වීමෙන් ජීවිතයට පවා අවදානමක් ඇතිවිය හැකි බව වෛද්‍යවරිය සඳහන් කළාය.
කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම බෝ නොවන සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් මෙම තත්ත්වයට වැඩි අවදානමක් සහිත කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම එළිමහනේ රැකියාවල නිරත වන පුද්ගලයන් සහ කෘෂිකාර්මික කටයුතුවල නිරත පිරිස්ද අධික උෂ්ණත්වය හේතුවෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බව ඇය පැවසුවාය.
මේ අතර, පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
පාසල් අවසන් වී නිවෙස් බලා යන අවස්ථාවේදී දරුවන් හිස් ආවරණයක් හෝ කුඩයක් භාවිත කිරීම, අනවශ්‍ය ලෙස එළිමහනේ ක්‍රීඩා කිරීමෙන් වැළකීම සහ හැකිතාක් සෙවණ සහිත ස්ථානවල රැඳී සිටීම වැදගත් බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් ආයතන සමඟ එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සඳහන් කළාය.