විශ්‍රාම වයස වෙනස් කිරීමේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය

Government Employee Sri Lanka Government Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 13, 2026 06:05 AM GMT
Report

විශ්‍රාම යන වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව රජය සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මීරිගම රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ නව ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (12) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ, විවිධ වෘත්තීය කණ්ඩායම් විසින් විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත්, එම ඉල්ලීම් සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.

අධිකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, සෞඛ්‍ය සේවයේ ඇතැම් වෘත්තිකයින් මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ ආයතනවලින් විශ්‍රාම වයස සංශෝධනය කිරීම පිළිබඳ ඉල්ලීම් ලැබී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විවිධ මත පවතින නමුත් රජයක් ලෙස සියලු ඉල්ලීම් සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.