ලංකාවේ රාජ්‍ය සේවය ගැන රතු එළියක්.. මෙහෙම ගියොත් ඉදිරියේදී කුමක් වෙයිද?

Government Employee Sri Lanka Sri Lanka Government
By Aruna Nov 11, 2022 02:53 AM GMT
Report

වැටුපට ණය නැතිව රාජකාරී කරන්නේ 15% ක් පමණ බවත්, බහුතර රාජ්‍ය සේවකයන් අවතැන් පිරිසක් බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඔහු පැවසුවේ, අලස සහ දූෂිත එම බහුතරයට වගකීමක් හෝ වගවීමක් නොමැති බවයි.

වත්මන් අර්බුදයෙන් පෙන්වන්නේ දේශපාලන පරිවර්තනයට සමගාමීව රාජ්‍ය සේවය පරිවර්තනය නොවීමේ ප්‍රතිඵල බව ද සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි.

එමෙන්ම, ඔහු පැවසුවේ, සමාජ, සංස්කෘතික සහ ආර්ථික අභියෝග පිළිබඳ අවබෝධයක් තිබිය යුත්තේ, වසර පහකට වරක් පත්වන දේශපාලනඥයන්ට නොව, වසර 30 ක් රාජකාරී කරන රාජ්‍ය සේවකයන්ට බවයි.

රාජ්‍ය සේවයේ කොන්ද කඩන ලද දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළහොත් ඉදිරියේදී තවත් අභියෝගවලට මුහුණදීමට සිදුවන බව ද සුරේන් රාඝවන් මහතා අවධාරණය කළා.

ඔහු ප්‍රශ්න කළේ, තාක්ෂණික දැනුම රහිත නව අමාත්‍යංශ ලේකම්වරුන්ට සතියකින් හෝ දෙකකින් රටට සහ ජනතාවට සෘජුව බලපාන මරාන්තික තීරණ ගැනීමට නුවණ පහළවන්නේ කෙසේද යන්නයි.

එම නිසා රාජ්‍ය සේවයට බඳවාගැනීමේ ප්‍රතිපත්ති වෙනස් කළ යුතු බවත්, උපාධිධාරීන් පිවිසෙන රාජ්‍ය සේවයේ විෂය පථය පිළිබඳව අවම වශයෙන් වසරක පුහුණුවක් ලබාදිය යුතු බවත් සුරේන් රාඝවන් මහතා අවධාරණය කළා.

ඔහු තවදුරටත් පෙන්වාදුන්නේ, ඉන්දියාව, චීනය සහ වියට්නාමය වැනි රටවල් ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ, ගෝලීය අභියෝග සහ අවශ්‍යතා අනුව රාජ්‍ය සේවය පරිවර්තනය කිරීමෙන් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now