ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් කරන්න යන දේ මෙන්න..

Gotabaya Rajapaksa Sri Lanka
By Aruna Jun 10, 2022 01:50 AM GMT
Report

නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී (09) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කොළඹ වරාය ලොව ප්‍රමුඛ පෙළේ සියලුම නැව් සමාගම් සමග මෙහෙයුම් කරයි.

පාලන අධිකාරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි වගකීමෙන් කටයුතු කිරීමෙන් එය ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

නීති උල්ලංඝණය කොට කෙරෙන ආනයන හේතුවෙන් වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේසියේ දී අක්‍රමිකතා සිදුවන බව අනාවරණය වී ඇත.

සතොස, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතන මගින් එම භාණ්ඩ අලෙවියෙන් දූෂණ වැළැක්වීමටත් රජයට ආදායමක් උපයාගත හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදෙස් රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් වරායේ තරුණ සේවකයන් සඳහා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ සහ කොළඹ වරාය නැගෙනහිර ජැටියේ ඉදිකිරීම්වල පවතින ගැටලු නිරාකරණය කර නියමිත කාලය තුළ ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණ.

වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

අර්බුදයට මුහුණ දුන් රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම සමග අවබෝධයෙන් කටයුතු කිරීම හේතුවෙන් තත්ත්වය සාර්ථකව සමතයකට පත්කරගැනීමට හැකි වෙතැයි නිලධාරීහු විශ්වාසය පළ කළහ.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී රට සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ දැඩි අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු සහ රේඛීය ආයතන නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now