හිටපු ජනපති යලිත් ලංකාවට පැමිණෙන දිනය ගැන ඉගියක් - ලංකා රජය සින්ගප්පුරුවෙනුත් විශේෂ ඉල්ලීමක් සිදුකරයි..!

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka Singapore
By Sewvandhi Aug 06, 2022 12:56 PM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් සති දෙකක පමණ කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. පසුගිය ජුලි 14 වැනිදා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාට දින 14ක සංචාර බලපත්‍රයක් නිකුත් කර ඇති අතර සති දෙකක කාලයක් එහි රැඳී සිටීමටයි ඔහුට අවසර ලබා දී තිබුණේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තවත් දින 14ක් සිංගප්පුරුවේ රැඳී සිටීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජය සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ වන විට සිංගප්පූරුවේ රැඳී සිටින ඔහුගේ වීසා කාලය අගෝස්තු 11 වැනිදායින් අවසන් වීමට නියමිත අතර අනතුරුව ඔහු රටින් පිටවීමට නියමිතව තිබු බව සඳහන්. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ගෝඨාභය රාජපක්ෂ තවත් කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ජුලි 14 වැනිදා මාලදිවයිනේ සිට හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැමිණි අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජූලි 15 වැනිදා රාජපක්ෂ ජනාධිපතිවරයා නිල වශයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා.

මේ අතර පසුගියදා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී නොමැති අතර ඔහු සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවයි. මේ අතර මෙය හිටපු ජනාධිපතිවරයාට මෙරටට යළි පැමිණීමට සුදුසු කාලය නොවන බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා විදෙස් මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශකර තිබුණා.

මේ අතර සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර තිබුනේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට කිසිදු විශේෂ වරප්‍රසාදයක් හෝ මුක්තියක් තම රට තුලදී හිමි නොවන බවයි. පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේබව ප්‍රකාශකර තිබුණා. සිංගප්පූරු රජය සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය ප්‍රධානීන්ට විශේෂ වරප්‍රසාද හෝ ආගන්තුක සත්කාර ලබා නොදෙන බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now