මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කළද, ඉදිරියේදී එය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේදී අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මහනුවර නගරය ආශ්‍රිතව තවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානි වූ කොළඹ - මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර අවසන් වන විට හෝ 2027 වසරේ මුල් මාස දෙක ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මහනුවර ආර්ථික ක්‍රියාකාරකම් සහ සංචාරක කර්මාන්තයට දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බවයි.
හානි වූ දුම්රිය මාර්ග කොටස් ප්‍රතිසංස්කරණය කිරීමේදී භූගෝලීය තත්ත්වයන් හේතුවෙන් විශේෂ අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) එක්ව ජනවාරි මාසයේ සිට මේ සඳහා කටයුතු කරමින් සිටින බවත්, බරපතළ නායයෑම් සිදුව ඇති ස්ථාන සඳහා විශේෂ ඉංජිනේරු සැලසුම් අවශ්‍ය වන බවත් ඔහු පැවසීය.
ගම්වාසීන්ගේ සහාය ඇතිව අතුරු මාර්ග සකස් කර දුම්රිය මාර්ගයට ප්‍රවේශ වීමේ පහසුකම් සලසමින් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්තේගම - මාතලේ දුම්රිය මාර්ග කොටස හැර අනෙකුත් සියලුම කොටස් මෙම වසර අවසන් වන විට හෝ ලබන වසරේ ජනවාරි - පෙබරවාරි වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, වත්තේගම සිට මාතලේ දක්වා කොටස සඳහා තවත් මාස හයක පමණ කාලයක් ගතවිය හැකි බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.