ලෝකෙම තෙල් මිල බැහැලත් ලංකාවේ තාම වැඩි මිලට ගන්නේ ඇයි? - ගම්මන්පිල ආණ්ඩුව හිර කරයි

Fuel Price In Sri Lanka Udaya Gammanpila Economy of Sri Lanka Latest Headlines Sinhala news
By R.rishma Jul 02, 2026 07:04 AM GMT
Report

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී එහි නායක උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවේ ඉන්ධන මිල ප්‍රතිපත්තිය හා දේශීය බලශක්ති සම්පත් සම්බන්ධයෙන් දැඩි විවේචන ඉදිරිපත් කර තිබේ.

තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් පියවර “කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වැනි සොච්චමක්” බව ඔහු සඳහන් කළේය. ලෝකයේ බොර තෙල් මිල යුද සමයේ පැවති මට්ටමට වඩා පහත බැස ඇති බැවින්, යුදයට පෙර පැවති මිලට ඉන්ධන ලබාදිය හැකි බවද ඔහු කියා සිටියේය.

රජය “අධික මිලට තෙල් මිලදී ගෙන ඇති බව” පවසමින් එල්ල කරන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළ අතර, ඒවා “බොරුවක්” බවද සඳහන් කළේය. ලෝක වෙළඳපොළේ මිල පහළ යන අවස්ථාවලදී පවා ශ්‍රී ලංකාව වැඩි මිලකට තෙල් මිලදීගෙන ඇති බවටද ඔහු චෝදනා කළේය. 

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ස්වභාවික වායු සම්පත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එහි තෙල් ටොන් මිලියන දෙකක් පමණ සහ ස්වභාවික වායු විශාල ප්‍රමාණයක් පවතින බවත්, එහි ආර්ථික වටිනාකම ඩොලර් බිලියන සිය ගණනක් පමණ වන බවත්ය. එම සම්පත් නිසි ලෙස භාවිත කළහොත් රටේ ණය බරට විශාල විසඳුමක් ලැබිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට පෙර ආණ්ඩු සමයේ තෙල් කැනීම් සම්බන්ධයෙන් විවිධ සැලසුම් තිබූ බවත්, විදෙස් සමාගම් සමඟ ඇතිවූ ගිවිසුම් පසුව අවලංගු වූ බවත් ඔහු සඳහන් කළේය.

ආරක්ෂක හා නීතිමය කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අධිකරණ නියෝගවලට ගරු කරන බවත්, එහෙත් ඇතැම් තීන්දු සම්බන්ධයෙන් එකඟ නොවී නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අභියෝග කරන බවත්ය. 

බුද්ධි තොරතුරු හා සංවේදී දත්ත සම්බන්ධ නඩු වලදී මුරපද ලබා නොදීම සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ, එවැනි තොරතුරු හෙළි වුවහොත් ආරක්ෂක අංශවලට හා සම්බන්ධ පුද්ගලයින්ගේ ජීවිතවලට අවදානමක් ඇතිවිය හැකි බවයි. එම නිසා එම තොරතුරු රහසිගතව තබා ගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

 කෙසේ වෙතත්, අධිකරණ නියෝගයට ගරු කරමින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නීතිඥයින් මගින් සිදු කරන බවද ඔහු අවධාරණය කළේය.