සූදු නියාමනය සැප්තැම්බර් අවසානයේ සිට ඇරඹීමට සැලසුම්
සූදු ක්‍රීඩා නියාමන අධිකාරියට ලබන සැප්තැම්බර් මාසයේ අවසානයේ සිට නියාමන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි එහි සභාපති වසන්ත නවරත්න බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.
පෙරේදා (14) පැවති මුදල් කාරක සභා රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, නියාමන කටයුතුවලට අදාළ රෙගුලාසි ඇතුළත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් කර ඇති බවයි.
එම රෙගුලාසි සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා නීති ක්ෂේත්‍රයේ විද්වත් කමිටුවක් පත්කර ඇති අතර, එහි නිර්දේශ ලැබීමෙන් අනතුරුව කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, සූදු නියාමනය ආරම්භ කරන බව වරින් වර ප්‍රකාශ කළද එය ප්‍රමාද වීම ගැටලු රැසකට හේතු වී ඇති බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
ක්‍රිකට් තරග ඇතුළු ක්‍රීඩා ඉලක්ක කරගත් සූදු ක්‍රියාකාරකම් වේගයෙන් ව්‍යාප්ත වන අතර, තරුණ පිරිස සහ ළමුන් එයට ඇබ්බැහි වීම පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කළේය.
මේ අතර, සූදු ක්‍රීඩා නියාමනය සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ප්‍රමාණවත් හා නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් නොපෙනෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද එහිදී ප්‍රකාශ කළේය.