උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වෙනත් වෙබ් අඩවියක් සැකසු සිසුවා ගැන හෙළිවූ පුදුම දේ

Galle Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Sithumi Sep 09, 2022 11:03 AM GMT
Report

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වෙනත් වෙබ් අඩවියක් සකස් කළ ගාල්ලේ සිසුවා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. විභාග කොමසාරිස්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සිසුවා ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර සිසුවා විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත් අපේක්ෂකයන්ගේ තොරතුරු ඔහු විසින් සකස් කළ වෙබ් අඩවියක ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව හෙළිවී ඇත්තේ අදාළ සිසුවා විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු ව්‍යාජ ලෙස සකස් කරන ලද තොරතුරු නොවන බවය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය තුළට ඇතුළත් වී තමන් ලබාගත් තොරතුරු අදාළ අපේක්ෂකයන්ගේ නම් සමඟම ප්‍රදර්ශනය වන ආකාරයට සැකසූ බව සිසුවා ප්‍රකාශ කර තිබේ. තමන් අත්හදා බැලීමක් ලෙස මෙය කළ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

පැය හයක් වැනි කාලයක් තුළදී විභාග දෙපාර්තමේන්තුවේ උසස් පෙළ ප්‍රතිඵල දත්ත පද්ධතියම භාගත කරගත් බවත් සිසුවා හෙළිකර ඇති බව වාර්තා වෙයි. සැකකාර සිසුවා පරිගණක තාක්ෂණවේදයේ දක්ෂතාවලින් පරිපූර්ණ අයකු බවත්, ජංගම දුරකථනය හා ලැප්ටොප් යන්ත්‍රය මගින් සියලු දේ කර ඇති බවත් විමර්ශකයන් පෙන්වා දී ඇත.

එම සිසුවාද අන්තර්ගතව සිටි ටෙලිග්‍රෑම් සමූහයක් වෙත මේ වනවිට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර ඔවුන් වෙනත් අපරාධවල නිරත වී ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now