ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ අඩු කරයි..?

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Mar 31, 2024 06:01 AM GMT
Report

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව එම මිල ගණන් තීරණය කරන බවයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඉන්ධන මිල අඩු වනු ඇති බවයි බොහෝ පිරිස් විශ්වාස කරන්නේ.

කෙසේ වෙතත් මිල සළකා බැලීමේදී මිල කමිටුව රුපියලේ අගය ඉහළ යෑම සැළකිල්ලට ගන්නා නමුත් එය එකම නිර්ණායකය නොවන බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ.

වෙළඳපොළේ සැබෑ ඉන්ධන මිල කෙරෙහි බලපාන සියලු සාධක මත මිල තීරණය කරන බව ද සඳහන්.

රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිලාභය ඉදිරි මාසවල දී බලශක්ති ක්ෂේත්‍රයට හිමි වනු ඇති බවයි පැවසෙන්නේ.

එම මිල සූත්‍රය අතීත වියදම් අයකර ගැනීම අරමුණු කරගත් බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

බොරතෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කරන විට ක්‍රියාත්මක වූ විනිමය අනුපාතිකයට ඩොලරයේ අගය ආදේශ වන බව ද සඳහන්.

කෙසේවෙතත්, මාර්තු මස 04 වැනිදා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කළේ ය.

ඒ අනුව, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් අඩු වූ අතර එහි වත්මන් මිල වන්නේ රුපියල් 447ක්.

රුපියල් 10කින් සුපර් ඩීසල් මිල අඩු කිරීමට පියවර ගත් අතර එහි වත්මන් මිල වන්නේ රුපියල් 458ක්.

භූමිතෙල් මිල රුපියල් 05කින් අඩු කෙරුණු අතර, ඒ අනුව එහි වත්මන් මිල රුපියල් 257ක්.