ඉන්ධන හිඟය අවසන් වන දිනය ගැන ඇමති කියන කතාව..පෝලිම් යුගය අවසන්ද..?(VIDEO)
රටේ ඉන්ධන අර්බුදය එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු පහව යනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. ඊයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
"සිංහල අවුරුදු පහු වෙනකොට ලංකාවේ තෙල් පෝලිම් අවසන් වෙනවා. ඒ අවසන් වෙනකොට අපි පිරිපහදුවට තෙල් ඇනවුම් කරගෙන යනවා. පිරිපහදුවට තෙල් 215,000ක් ගබඩාවල තියන්න පුළුවන්. තාප බලාගාරවලයත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ."
මේ අතර, හෙට (28) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය. එමෙන්ම එළඹෙන අප්‍රේල් 01 වෙනිදාත් තවත් ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතය.
දැනටමත් ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඉන්ධන හිඟය හේතුවෙන් තවමත් පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ප්‍රදේශ කිහිපයක පිරවුම්හල් අසල නොසන්සුන්තා ද වාර්තා වුණා.
වෙළෙඳපොළට ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇති බවට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළද තවදුරටත් ඇතැම් පිරවුම්හල් වසා ඇත්තේ ඉන්ධන නොමැති බව සඳහන් කරමින්ය. ඒ අතර ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් අසල දිගු පෝලිම්ද වාර්තා වේ.
බණ්ඩාරවෙල - බදුල්ල මාර්ගයේ ඇති සිපෙට්කෝ පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව රාත්‍රියේ පෝලිමේ සිටියදී අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන තොග ඉතිරිකර ඉන්ධන අලෙවි කිරීම නතර කිරීමට පිරවුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණි.
ඊට විරෝධය පළ කරමින් පෝලිමේ රැඳී සිටි පිරිස බණ්ඩාරවෙල - බදුල්ල මාර්ගය හරස් කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය. අනතුරුව බණ්ඩාරවෙල පොලිස් නිලධාරීන්ද පැමිණ තත්ත්වය සමතයකට පත් කළ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ඉතිරිකරගත් ඉන්ධන ලීටර 1000ක් ජනතාව වෙත නිකුත් කිරීමට කටයුතු කළේය.
බිබිල නගරයේ සිපෙට්කෝ පිරවුම්හලෙන් බූලිවලට ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාවට ඉන්ධන නිකුත් නොකිරීම නිසා ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණි. අනතුරුව බිබිල පොලිස් නිලධාරීන්ද මැදිහත්ව එක් අයෙකුට රුපියල් 1,500ක ඉන්ධන ලබාදීමට පියවර ගත්තේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |