ඉන්ධන සහ පොහොර අඩුමිලට දෙන්න පුලුවන්..ජනපතිට දන්වයි..

Jathika Hela Urmaya Gotabaya Rajapaksa Wimal Weerawansa
By Aruna Jun 10, 2022 12:52 AM GMT
Report

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි අර්බුධකාරී තත්ත්වයෙන් මිදීමට නම් රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

මේ සම්බන්ධව වහාම සොයා බලන්නැයි ජනාධිපතිවරයාට වීරවංශ ඇතුලුව පක්ෂ 09ක එකතුවෙන් ලිපියක්ද යොමු කර තිබේ.

එම ලිපියේ සඳහන්ව තිබූ දේ, පසුගිය මාස කීපය පුරා රට තුළ පවතින ඉන්ධන හිගය ක්‍රමානුකූලව උග්‍ර වෙමින් පවතින බව ඔබතුමාගේ අවධානයට යොමු කරනු කැමැත්තෙමු.

දහස් ගණන් ජනතාව දින ගණන් පෝලිම්වල සිටින අතර එම පොලිම් දීර්ඝ වී ඇතිවා පමණක් නොව, පෝලිම්වලට එක්වන පිරිස් කෝපයට පත්ව ගැටුම් ඇති කර ගන්නා තත්ත්වයට ද පත් වෙමින් සිටිති.

පවතින තත්ත්වය විසින් මිනිසුන් මානුෂික සීමාවෙන් ඔබ්බට තල්ලු කරමින් තිබෙන අතර ප්‍රචණ්ඩ හැසිරීම් වෙත නැඹුරු වෙමින් සිටිති.

සිදුවෙමින් පවතින මෙම වර්ධනයන් නොඇසූ කන් ඇතිව, නුදුටු ඇස් ඇතිව, රටේ වගකිවයුතු පාලකයන් සිටින බව ද පෙනී යයි.

මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබූ ඉල්ලීමකට රුසියානු රජය එකඟතාවය පළ කොට ඇති බව විශ්වාස කටයුතු මාර්ගවලින් අපට දැනගන්නට ලැබී ඇත.

එහෙත් රජය මේ පිළිබඳව ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග අපැහැදිලිය. රුසියානු තෙල් මිල දී ගැනීමෙන් ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ කෝපයට ලක් විය හැකි බවට ඇතැම් වගකිවයුත්තන් සිතන බව ප්‍රකාශ වී ඇත.

මේ ආකාරයට ඇමරිකානු හා බටහිරගැති මනෝභාවයන් පුද්ගලයන් තුළ තිබීම ප්‍රශ්නයක් නොවුණ ද, එම අදහස් ප්‍රතිපත්තීන් බවට පත් කරගෙන අපගේ ජීවිත පවත්වාගෙන යාමට නොහැකි ආකාරයට රටේ පාලක පිරිස් ක්‍රියා කිරීම අප පක්ෂ අනුමත නොකරති.

කොතරම් ගැටුම් පැවතියද, යුරෝපයේ දිනපතා මිලියනයකට (ලක්ෂ දහයකට) අධික බොරතෙල් බැරල් ප්‍රමාණයක් දැනුදු රුසියාවෙන් මිලදී ගනියි.

එබැවින්, මෙම ලිපියට අත්සන් තබන පක්ෂ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි රුසියානු රජය ලබා දී ඇති එකඟතාවය අනුව යමින්, දීර්ඝකාලීන පදනමෙන් රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා වහා ද්විපාර්ෂික සාකච්ඡා ආරම්භ කරන ලෙසයි.

එසේ ක්‍රියා කිරීමට අපොහොසත් වන්නේ නම්, රුසියානු ඉන්ධන මිල දී ගෙන රට පත්ව ඇති දුක්ඛිත තත්ත්වයෙන් මුදවා ගැනීමට බලකිරීම සඳහා, ජනතාව සමඟ එක්ව ක්‍රියා කරන්නට අප පක්ෂ නොපැකිලෙන බව ඔබතුමන් වෙත මෙයින් දන්වා සිටිමු.

අප මෙම ලිපියෙන් මතු කරන ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමු.

ජාතික නිදහස් පෙරමුණ ලංකා සම සමාජ පක්ෂය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ.

පිවිතුරු හෙළ උරුමය.

ජාතික කොංග්‍රසය.

විජයධරණි ජාතික සභාව.

යුතුකම ජාතික සංවිධානය.

ශ්‍රී ලංකා මහජන පක්ෂය

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery