හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව කල්යයි
රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් 30 දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය.
මෙම නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර නඩු ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සඳහා නඩුව සැප්තැම්බර් 30 දින යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නඩුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, විමර්ශනයට අදාළ වියදම්වලින් සැලකිය යුතු කොටසක් වාහන සඳහා වැය කර ඇති බවට සඳහන් වුවද, එම වාහන බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදුන් ඒවා බවයි. ඊට අදාළ ලේඛනද රජයේ නීතිඥවරිය වෙත භාරදුන් බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටි බවත් අධිකරණයේදී සඳහන් විය.
2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය මුදලක් වැය කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.