කටාර් රාජ්‍යය ලෝකයේ ධනවත්ම රටක් කළ ‘මහ මොළකරු’ ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වෙයි

Qatar World Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 12, 2026 06:33 AM GMT
Report

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා සහ නවීන කටාර් රාජ්‍යයේ නිර්මාණකරු ලෙස සැලකෙන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 74 වන වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1995 ජූනි 27 දින කටාර් රාජ්‍යයේ එමීර්වරයා ලෙස බලයට පත් වූ ෂෙයික් හමාඩ්, එරට ආර්ථික, අධ්‍යාපන හා සමාජ ප්‍රතිසංස්කරණ රැසකට නායකත්වය ලබා දෙමින් කටාර් රාජ්‍යය ලෝකයේ ප්‍රමුඛ ආර්ථික බලවේගයක් බවට පත් කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.

ඔහුගේ පාලන සමයේදී කටාර්හි දළ දේශීය නිෂ්පාදිතය විශාල ලෙස ඉහළ ගිය අතර, 2006 වන විට ද්‍රවීකරණය කළ ස්වාභාවික වායු (LNG) අපනයනය කරන ලොව විශාලතම රට බවට කටාර් පත්විය. අනතුරුව වාර්ෂික LNG නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියන 77 දක්වා ඉහළ නැංවීමටද ඔහුගේ පාලනය යටතේ හැකි විය.

ඔහුගේ නායකත්වය යටතේ 'කටාර් පදනම' (Qatar Foundation) ස්ථාපිත කිරීම, 1996 වසරේ 'අල් ජසීරා' පුවත් නාලිකාව ආරම්භ කිරීම, 2004 දී කටාර්හි ප්‍රථම ස්ථිර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීම සහ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හා මැතිවරණ සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම ඇතුළු ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කෙරිණි.

එමෙන්ම 'කටාර් ජාතික දැක්ම 2030' වැඩසටහන දියත් කිරීම සහ 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දිනා ගැනීමට කටාර් රාජ්‍යයට මඟ පෙන්වීමද ඔහුගේ පාලන සමයේ කැපී පෙනෙන ජයග්‍රහණ ලෙස සැලකේ.

1952 ජනවාරි මාසයේදී දෝහා නුවර උපත ලැබූ ෂෙයික් හමාඩ්, බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා ඇකඩමිය වන සෑන්ඩ්හර්ස්ට්හි අධ්‍යාපනය ලබා කටාර් සන්නද්ධ හමුදාවේ සේවයට එක්විය. 1977 වසරේදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වූ ඔහු, 1995 දී රාජ්‍ය නායකත්වයට පත්විය.

2013 ජූනි 25 දින සිය ධුරයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වූ ඔහු, රාජ්‍ය නායකත්වය සිය පුත් වත්මන් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි වෙත භාර දුන්නේය.

එම අවස්ථාවේදී ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේ, "මේ මාතෘභූමියේ දරුවනි, අනාගතය රැඳී තිබෙන්නේ ඔබ ඉදිරියෙහිය. තරුණ නායකත්වයක් පෙරටු කරගනිමින් ඔබ මේ පිවිසෙන්නේ නව යුගයකටයි." යනුවෙනි.

මේ අතර, 2012 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ෂෙයික් හමාඩ්, කටාර් රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු රාජ්‍ය සංචාරයද එමගින් සනිටුහන් කළේය.