රජයේ විදේශ ණය ඉහළ ගොස් ඇති බවට පළවන ප්‍රකාශ අසත්‍යයි - නියෝජ්‍ය ඇමති

Economy of Sri Lanka Latest Headlines Anil Jayantha Fernando Sinhala news Puwath.lk
By R.rishma Sep 02, 2026 04:54 AM GMT
Report

රජය ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට ඇතැම් පාර්ශ්වයන් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

නිල දත්ත හෝ වගකීම් සහගත තොරතුරු පදනම් කර නොගෙන මෙවැනි ප්‍රකාශ සිදුකිරීම කණගාටුදායක තත්ත්වයක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කළ තොරතුරු උපුටා දක්වමින් රජයේ ණය රුපියල් බිලියන 190කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවී ඇති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, එම වාර්තාවල ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති ආකාරය පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති අතර, ඉදිරිපත් කර ඇති ඇතැම් දත්තද නිවැරදි නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයේ ණය සම්බන්ධ නිල හා වගකීම් සහගත තොරතුරු කාර්තුවෙන් කාර්තුවට නිකුත් කරන Debt Bulletin වාර්තා මගින් ජනතාවට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

එම වාර්තාවල දේශීය හා විදේශීය ණය මෙන්ම රටවල් අනුව ලබාගෙන ඇති ණය පිළිබඳ තොරතුරුද ඇතුළත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ වාණිජ විදේශ ණය පිළිබඳ විස්තරාත්මක තොරතුරුද එහි සඳහන් වන බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ණය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී පළමුව නිල ලේඛන සහ දත්ත පදනම් කරගත යුතු බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, නිල දත්ත අනුව රජයේ ණය ප්‍රකාශ වන ආකාරයෙන් ඉහළ ගොස් නොමැති බවද අවධාරණය කළේය.