ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි - නවතම කාලගුණික තත්ත්වය..

Climate Change TN Weather Weather Floods In Sri Lanka
By Sewvandhi Dec 29, 2023 09:11 AM GMT
Report

දිවයිනේ පළාත් කිහිපයකට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවතී.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීම් සිදු කරන්නේ, සෝමාවතිය පුදබිම තවමත් ජලයෙන් යටව පවතින බැවින් මේ දිනවල පුදබිමට පැමිණීමෙන් වළකින ලෙසයි.

දිවයිනේ පළාත් කිහිපයකට තවදුරටත් වැසි සහිත කාලගුණයක් පවතින අතර ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 148.4 වාර්තා වූයේ පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයෙනි.

එමෙන්ම, හාලිඇල උඩුවර නේපියර් මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩාවැටීමෙන් විදුලි සැපයුමට සහ ගමනාගමනයට බාධා එල්ල වුණි.

ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය,  නායයාමේ අවදානමක් හේතුවෙන් ඌව පරණගම අලගොල්ල ගම්මානයේ පවුල් පහක සාමාජිකයින් නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

මේ අතර තද වැසි සමග මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශයෙන් තවදුරටත් යටව පවතින අතර ඊයේ පස්වරු 2 සිට මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය තාවකාලිකව නතර කර තිබුණි.

පවතින අධික වර්ෂාවත් සමඟ කලාවැවේ වාන් දොරටු දෙකම අඩි 16 බැගින් මේ වනවිට විවෘත කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් කලාවැව තඹුත්තේගම මාර්ගය අවුකන පාලම සහ වලව්වේගම දුම්රිය පාලම අසලින් යටව ඇති බැවින් එම මාර්ගය කලාවැව පිවිසුම අසලින් වසා දමා ඇති බවය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් අම්පාර කොන්දු වටාන ජලාශයේ වාන් දොරටු දෙක අඩි තුන බැගින් විවෘත කර තිබේ. ඒ හේතුවෙන් කොණ්ඩු වටුවානු ප්‍රදේශය අවට කුඹුරු රැසක් ජලයෙන් යටව පවතින බව වාර්තා වෙයි.

එමෙන්ම වීරකැටිය ප්‍රාදේශීය වාරි ඉංජිනේරුවරයා පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හමුවේ මුරුතවෙල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 650ක ජලධාරිතාවක් ඌරුබොකු ඔයට මුදාහැරෙන බවයි.

මේ අතර වරාපිටිය වැවේ වාන් දොරටු දෙක ද අඩිය බැගින් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් කිරම ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. තවත් ජලාශ රැසක වාන් දොරටු අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් තවදුරටත් විවෘතව පවතී.