ප්‍රධාන නගරයක කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්..තවත් ගින්නකින් 43ක් මරුට..

Fire Accident
By Aruna Mar 01, 2024 01:52 AM GMT
Report

ඊයේ (29) රාත්‍රීයේ පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයේ පානදුර උතුර පරත්ත පාර, සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.

එම ගින්නෙන් තීන්ත කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

නිවාස රැසක් ඇති මෙම ප්‍රදේශයේ පිහිටි ගිනිගැනීමට ලක් වූ මෙම කර්මාන්ත ශාලාවේ ගින්න පාලනයට මොරටුව මහ නගර සභාවේ ගිනිවීමේ රථ තුනක් පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කළා.

ගිනිගැනීමට ලක් වූ කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින්, ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වූ අතර පානදුර උතුර පොලිසිය ද ඊට සහයෝගය ලබා දෙනු ලැබීය.

මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානියක් සිදුව නොමැති අතර ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව පානදුර උතුර පොලිසිය සහ මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇත.

මේ අතර,බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්‍රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ප්‍රධාන නගරයක කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්..තවත් ගින්නකින් 43ක් මරුට.. | Fire Accident

පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් ඩකා ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසයි.

තුවාලකරුවන් ඇතුළත් කළේ මෙම රෝහලටය. ගින්න හටගත්තේ, ‘බේලි රෝඩ්’ නමැති සත් මහල් ගොඩනැගිල්ලේය.

මෙහි බහුලව ඇත්තේ රෙදි පිළි අලෙවිසැල් සහ ජංගම දුරකතන අලෙවිසැල් වන අතර, ගොඩනැගිල්ලේ ඇති එකම බුරියානි අවන්හල බංග්ලාදේශ වැසියන් අතරේ අතිශය ජනප්‍රියය.

ගිනි නිවන හමුදාව පවසන ආකාරයට ගින්න හටගෙන ඇත්තේ මෙම අවන්හලෙන් වන අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ.

ගින්න හටගත්තේ ඊයේ (29) රාත්‍රී 10 ට පමණය.

ගින්න ඉහළ මහලවලට පැතිරෙද්දී, බොහෝ දෙනකු ගොඩනැගිල්ල මුදුණේ කොටුවුණු අතර එම පිරිස් බේරා ගැනීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.