ෆාස්ටර් ජෙරම් අත්අඩංගුවට ගන්නා හැටි ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..

Nihal Talduwa Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 17, 2023 09:53 AM GMT
Report

පොලීසිය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ, අධිකරණයෙන් ඔහුට එරෙහිව සංචාරක ගමන් තහනමක් ලබාදී ඇති මොහොතක එලෙස අත්අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති බවය. 

 මේ අතර ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයන්ට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු මාධ්‍ය ප්‍රකාශවරයා,

"පාස්ටර් ජෙරම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. පැමිණිලි ලැබුණට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඒ අනුව තමා අධිකරණයෙන් අදාළ සාක්ෂි සටහන් කරගෙන පසුව තමා අධිකරණය නියෝග ලබාගන්නේ. පාස්ටර් ජෙරම් පිටත් වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේදී. ඔහු විදේශ ගතවුණ බවට වාර්තා වෙලා තියෙනවා.

නමුත් විදේශ ගමන් තහනම අපි ලබාගන්නේ ඊයේ දිනයේ. ඒ කියන්නේ සංචාරක ගමන් තහනමක් ලබාගත්තහම ඒ් රටෙන් පිටවෙන්නත් බෑ. ඒ වගේම විදේශ රටකට ඇතුළු වෙන්නත් බෑ. ඒ අවස්ථා දෙකේදීම අත්අඩංගුවට පත්වීමක් සිදුවෙනවා යම් වරදක් සම්බන්ධයෙන්. නමුත් පැමිණිලි ආවට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරන්නේ. එයින් පසුව තමා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතුයි විදේශ ගමන් තහනමක් ලබාගන්න. ඒ සඳහා යම් ආකාරයක විමර්ශනයක් පැවැත්විය යුතුයි. එතකොට පැමිණිලි ලැබිලා ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ කාලය තුළ තමා අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරලා, සාක්ෂි ඉදිරිපත් කරලා මේ තහනම ලබාගන්නේ."

ප්‍රශ්නය - ඔහු නැවත නොපැමිණියොහොත් හෝ වෙනත් රටකට පිටව ගියොත් වෙන්නේ කුමක් ද?

"ලැබෙන පැමිණි අනුව විමර්ශනය කරලා, යම් ආකාරයක අපරාධමය වරදක් තහවුරු වෙනවා නම්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළාට පස්සේ, ඊට අදාළ චෝදනා ඉදිරිපත් කරලා, අධිකරණයට ඉදිරිපත් කරන තොරතුරු මත නීති රාමුව මත යම් නියෝගයක් ලබාගන්න පුළුවන් නම් ඒ නියෝග ලබාගෙන ජාත්‍යන්තර පොලීසිය හරහා හෝ ජාත්‍යන්තරව කටයුතු කරන්න තියෙන නීතිරීති මාලාව තුළ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉදිරියේ දී එය තීරණය කළ හැකියි. එය තීරණය වන්නේ විමර්ශනයේ දී අනාවරණය වන තොරතුරු මත..."

ප්‍රශ්නය - ඔහු ලංකාවට පැමිණියොත් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙනවා ද ?

"සංචාරක තහනමක් තියෙන අවස්ථාවක අධිකරණයේ දී එවැනි නියෝගයක් ලබාදී ඇති අවස්ථාවක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා..."

ප්‍රශ්නය - මොහුට තියෙන චෝදනා යටතේ, විමර්ශනවලට ඉහළින් බලපෑම් එල්ල වනවාද ?

"කිසිසේත්ම එවැනි බලපෑමක් ලැබිලා නෑ විමර්ශන සම්බන්ධයෙන්. විමර්ශන කටයුතු ඉතා නිදහස්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතිනවා මේ වනවිට. කිසිදු ආකාරයක බලපෑමක් විමර්ශනවලට එල්ල වෙලා නෑ."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now