මේ වසරේ අධිවේගී මාර්ග කිහිපයක වැඩ ඇරඹීමට සැලසුම්
මේ වසර තුළ අධිවේගී මාර්ග කිහිපයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
ඒ අනුව, මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, කහතුඩුව සිට ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද මෙම වසර අවසන් වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර, කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.
තවද, අනුරාධපුරය කේන්ද්‍ර කරගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව ද සඳහන් කළේය.
2028 මැයි වනවිට කඩවත - මීරිගම අවසන් කිරීමට සැලසුම්
මේ අතර, කඩවත සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2028 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට නියමිත බව බිමල් රත්නායක මහතා පැවසීය.
එමෙන්ම, පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.